uncle-beats-nephew-to-death-with-a-stick

කරන්දෙණිය, අගණකැටිය ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රී මාමණ්ඩියෙකු විසින් සිය බෑණා පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව කරන්දෙණිය පොලිසිය වාර්තා කරයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අගණකැටිය, කරන්දෙණිය ලිපිනයේ පදිංචිව සිටි 24 හැවිරිදි කොරගොඩ මුණසිංහගේ තුෂාර සම්පත් නැමැති තරුණයෙකි.



මියගිය තරුණයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ අළුයම ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ධම්මික ඉහළවිතාන මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලද අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා සිරුර ඇල්පිටිය මූලික රෝහල වෙත යොමු කිරීමට නියෝග කර තිබුණි. ඊයේ දහවල් ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි චමිල් ආරියරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.



ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය තරුණයාගේ මාමණ්ඩිය වන 58 හැවිරිදි හේවාහකුරු විජේසිංහ නැමැත්තා කරන්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඊයේ ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් පොල්ලකින් එල්ල කරන ලද පහරවල් හේතුවෙන් ඝාතනයට ලක් වූ තරුණයාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බවත්, එම පහරවල් මාරාන්තික වී ඇති බවත්ය. ඝාතනයට ලක් වූ තරුණයාගේ හිසෙහි ඇතුළත කොටස් පිටතට පැමිණ තිබූ බවත්, දත් කිහිපයක් ගැලවී වැටී තිබූ බවත් පොලිසිය තහවුරු කරයි. මෙම ඝාතනය පෙරේදා රාත්‍රී 10.00ත් ඊයේ අළුයම 1.30ත් අතර කාලයේදී සිදු වන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. සිද්ධිය පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ ඊයේ අළුයම 1.30න් පසුව බව කරන්දෙණිය පොලිසිය සඳහන් කරයි.

මියගිය තරුණයා, ඔහුගේ බිරිඳ, සැකකරු සහ සැකකරුගේ බිරිඳ එකම නිවසේ පදිංචිව සිට ඇති අතර,

ඝාතනයට ලක් වූ තරුණයා පෙරේදා රාත්‍රී මිතුරන් තිදෙනෙකු සමඟ නිවසේ එළිමහනේ මත්පැන් පානය කර තිබේ. පසුව ඔහු සිය මිතුරන්ට තේ සාදා දෙන ලෙස සිය බිරිඳට කළ ඉල්ලීමක් මුල් කරගෙන ඔවුන් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත. මෙම ආරවුල අතරතුර සැකකරුගේ බිරිඳ වන 53 හැවිරිදි කළුවාදේව සේපාලිකා නැමැති කාන්තාව ද තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු ත්‍රීරෝද රථ හිමියෙකු වන අතර පෙදරේරු කාර්මිකයෙකු ලෙස සේවය කරයි. පෙරේදා සවස සැකකරු ඔහුගේ ත්‍රීරෝද රථයෙන් නිවසට රැගෙන විත් ඇත්තේද ඝාතනයට ලක් වූ තරුණයා විසින් බව පොලිසිය තහවුරු කරයි. මත්පැන් පානය කිරීමෙන් පසු මිතුරන් නිවසට ඇරලවීමට මාමණ්ඩියගෙන් ත්‍රීරෝද රථයේ යතුර ඉල්ලා ඇති අතර, මත්පැන් පානය කර රිය පැදවීම නොකළ යුතු බවට මාමණ්ඩිය දැනුම් දී තිබේ. එම අවවාදය නොතකා නැවත වරක් මාමණ්ඩිය සහ බෑණා අතර ආරවුලක් ඇති වී ඇත.

පසුව ඝාතනයට ලක් වූ තරුණයා පොල්ලකින් නිවසේ ජනෙල් දොරවල්වලට හානි කර ඇති බවත්,

සැකකරුගේ බිරිඳට ද පහර දී ඇති බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ. පසුව තමන් විසින් පොල්ලකින් පහර දුන් බවද ඔහු සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කරන්දෙණිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලිහිණියකුල, ඇල්පිටිය අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා, උප පොලිස් පරීක්ෂකවරුන් වන තාරක සහ කුසුම්සිරි, පොලිස් කොස්තාපල් විතාන (69483) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පවත්වනු ලැබේ.

( බළපිටිය - ජයකාන්ත ලියනගේ විසිනි)