protests-against-trump-at-katunayake-trade-zone

 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙරට පළමු විරෝධතාවය, නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමය විසින් පසුගිය 13 වන දා පස්වරුවේ සංවිධානය කර තිබිණි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට පැවති මෙම උද්ඝෝෂණය සඳහා කටුනායක ස්ටාර් ගාමන්ට් ආයතනයේ සේවක සේවිකාවෝ එක්ව සිටියහ.



විරෝධතාවට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ,

ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදු නිසා සිය ආයතන කළමනාකාරීත්වය විසින් වසර ගණනාවක් තිස්සේ ලබාදුන් සුබසාධන දීමනා රැසක් කපා හැරීමයි. ඒ අනුව, වාර්ෂික නිල ඇඳුම්, විනෝද චාරිකාව, ක්‍රීඩා උත්සවය, වාර අවසාන හමුව මෙන්ම සෑම වසරකම ජනවාරි මස පළමු වන දා හිමිවන ත්‍යාගය ද තමන්ට අහිමි කර ඇති බව උද්ඝෝෂකයෝ පැවසූහ.

විරෝධතාකරුවන් ඇමතූ නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේ, මෙම තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් සඳහා ඇමරිකානු වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇඟලුම් අලෙවිය පහත වැටී, අවසානයේ දී කර්මාන්ත ශාලා වසා දැමීමේ අවදානමක් නිර්මාණය වන බවද ඔහු අවධාරණය කළේය.

මෙම බදු ප්‍රතිපත්තියේ අවසන් ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා දහසය දහසකට ආසන්න සංඛ්‍යාවක් අහිමි වීමේ අවදානමක් බවට පත්ව ඇතැයි, ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ විද්වතුන් තමන්ට දැනුම් දුන් බව ද ඇන්ටන් මාකස් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.



gossiplanka image 1