former-customs-director-seeks-200-million-rupees-for-damages-caused-by-filing-false-bribery-charges-and-filing-lawsuits

 තමාට එරෙහිව අසත්‍ය අල්ලස් චෝදනා ගොනු කර නඩු පැවරීමෙන් සිදු වූ හානියට රුපියල් කෝටි 20ක දැවැන්ත වන්දියක් ඉල්ලා හිටපු රේගු අධ්‍යක්ෂවරයකු ගොනු කළ නඩුවක් විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය තීරණය කර තිබේ. අදාළ වන්දි නඩුව මෙම මස 22 වන දින කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.



හිටපු රේගු අධ්‍යක්ෂවරයකු වන කනගසබේ රන්ජන් මහතා විසින් මෙම නඩුව පවරා ඇති අතර, එහි විත්තිකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු සභාපති ධම්මික ජගත් බාලපටබැඳි, එම කොමිසමේ විමර්ශන නිලධාරීන් දෙදෙනෙකු, ව්‍යාපාරිකයකු සහ නීතිපතිවරයා නම් කර ඇත.

2012 වසරේදී රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරද්දී,

පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් අඩංගු කන්ටේනර් නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ලබා ගත් බවට රන්ජන් මහතාට චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ පැවරූ එම නඩුවේ සියලු චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට 2021 වසරේ ජනවාරි 22 වන දින මහාධිකරණය තීන්දු කළේය.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, අල්ලස් කොමිසමේ හිටපු සභාපතිවරයා ද්වේෂ සහගතව මැදිහත් වී මෙම අසත්‍ය නඩුව ගොනු කර ඇති බවයි. එම ක්‍රියාවලිය හේතුවෙන් සිය සේවාදායකයාට දැඩි මූල්‍යමය සහ කීර්ති හානියක් සිදුව ඇති බැවින්, නීතිපතිවරයා හැර අනෙකුත් විත්තිකරුවන් සිව් දෙනාගෙන් එම වන්දි මුදල අය කර දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.