හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයෙකු වන රමිත් රඹුක්වැල්ල, තම පියා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ මාස 21ක කාලයක් තුළ රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අනාවරණය කරගෙන තිබේ.
මෙම වත්කම් අතරට කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් මිලදී ගත් නිවාස දෙකක් ද ඇතුළත් වන අතර, ඒවායේ වටිනාකම පිළිවෙළින් රුපියල් කෝටි අටක් සහ රුපියල් කෝටි හයයි පනස් ලක්ෂයක් ලෙස ගණන් බලා ඇත.
මීට අමතරව, ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක්, රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක මුදලක් සහ ඔහුට හා ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් අටක් පිළිබඳව ද කොමිසමේ අවධානය යොමුවී ඇත.
2022 ජනවාරි මස 01 වන දින සිට 2023 නොවැම්බර් මස 14 වන දා දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566,444.76ක් වන මෙම දේපළ හා මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට රමිත් රඹුක්වැල්ල මහතා අපොහොසත් වී ඇති බව කොමිසම පවසයි. දූෂණය නැමැති වරද යටතේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව, අල්ලස් කොමිසම විසින් පසුගිය 12 වන දා දූෂණ විරෝධී පනත යටතේ මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලදී.
සිය පියා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රමිත් රඹුක්වැල්ල මහතා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද ක්‍රියා කර ඇති බව සඳහන් වන අතර,
මෙම විමර්ශනයට අදාළව මේ වනවිටත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන තිබේ. ඔහුගේ සහ බිරිඳගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු පවා ආරම්භ කර ඇති බවට හෙළිවී ඇති අතර, තවත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන අඛණ්ඩව සිදුකරන බව අල්ලස් කොමිසම වැඩිදුරටත් කියා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval