rapper-shan-putha-also-arrested-in-connection-with-rapper-maduwas-explosives-case

 රැප් ගායකයෙකු වන මාදව ප්‍රසාද් නොහොත් 'මදුවා'ට පුපුරන ද්‍රව්‍ය තොගයක් සැපයීමේ චෝදනාව මත තවත් ජනප්‍රිය රැප් ගායකයෙකු වන ‘ශාන් පුතා’ නමැත්තා කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශාන් පුතා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ 'මදුවා' අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කළ විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය විය.

මදුවා අගෝස්තු 2 වන දින පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ජෙලග්නයිට් කූරු තුනක්, ඩෙටනේටර් පහක් සහ ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 3.5 ක් සමඟිනි. කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රජිත ගුරුසිංහ මහතාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මදුවාගේ පිටිපන ගලහේන ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස වළදමා තිබූ පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි විය.

ප්‍රශ්න කිරීම්වලදී මදුවා අනාවරණය කළේ මීට මාස කිහිපයකට පෙර කොටවිල පොලිසියේ ගිනි අවියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප

ොලිස් කොස්තාපල්වරයෙකු සහ 'ශාන් පුතා' විසින් මෙම පුපුරන ද්‍රව්‍ය ලබා දුන් බවයි. එම තොරතුරු මත 'ශාන් පුතා' අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 'ශාන් පුතා'ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කහතුඩුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි. මෙම සිද්ධියට අදාළව, මදුවා අගෝස්තු 25 වැනි දින ද ව්‍යාජ පිස්තෝලයක් සමඟ කහතුඩුව, මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබීම ද විශේෂත්වයකි.