වාහන ආනයනකරුවන් පෙන්වා දෙන පරිදි, රේගුව විසින් වාහන 2,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිදහස් නොකර රඳවාගෙන සිටින්නේ ප්‍රධාන හේතු දෙකක් මුල් කරගෙනය. විද්‍යුත් මෝටර් රථවල මෝටර් ධාරිතාව ප්‍රකාශ කිරීමේදී හටගත් ගැටලුවක් සහ තෙවන පාර්ශ්වීය රටවල් හරහා ණයවර ලිපි විවෘත කිරීම එම හේතු වේ.
රඳවා ඇති සම්පූර්ණ වාහන සංඛ්‍යාවෙන් 1,000ක් පමණ විද්‍යුත් මෝටර් රථ වන අතර, ඒවායේ මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් පැන නැගී ඇති මතභේදාත්මක තත්ත්වය මත රේගු භාරයේ පවතී. ඉතිරි වාහන තොගය,
තෙවන පාර්ශ්වීය රටවලින් ණයවර ලිපි විවෘත කරමින් ආනයනය කිරීම නිසා නිදහස් කිරීමට නොහැකිව ඇති බව ආනයනකරුවෝ සඳහන් කරති.
ණයවර ලිපි සම්බන්ධ ගැටලුව මත රඳවාගෙන ඇති වාහන නිදහස් කරගැනීම සඳහා මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බව වාහන ආනයනකරුවෝ පවසති. මෙම ගැටලු සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ට මෙම මස අවසානය වන විට එකඟතාවකට පැමිණිය හැකි වනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කරති. එමෙන්ම, රඳවා ඇති වාහන සඳහා පැනවී ඇති අධික ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලීමක් කර සිටිති.
ආනයනකරුවන්ට අනුව, පසුගිය මැයි මාසයේ සිට රඳවා ඇති වාහනයක් සඳහා හම්බන්තොට වරායේ ප්‍රමාද ගාස්තුව රුපියල් ලක්ෂ 15ක් දක්වාද, කොළඹ වරායේදී එය රුපියල් ලක්ෂ 25ක් දක්වාද ඉහළ ගොස් ඇත. මෙම අධික ප්‍රමාද ගාස්තු හේතුවෙන්,
වාහන නිදහස් කළද ඒවා අලෙවි කිරීමේදී දැඩි දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.
විද්‍යුත් වාහන රඳවාගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ, මීට පෙරද මෙවැනිම හේතුවක් මත විද්‍යුත් වාහන තොගයක් රේගු භාරයට ගත් බවත්, මෙම අවස්ථාවේදී ද එම හේතුව මතම වාහන රඳවාගෙන ඇති බවත්ය. කෙසේ වෙතත්, රඳවා ඇති විද්‍යුත් වාහනවල නිශ්චිත සංඛ්‍යාව එම අවස්ථාවේදී පැවසිය නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මීට පෙර රේගුව විසින් රඳවාගෙන තිබූ විද්‍යුත් වාහන 991ක්, කොන්දේසි කිහිපයකට යටත්ව නිදහස් කිරීමට අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval