කොළඹ සිට වැලිමඩ බලා ධාවනය වූ බසයක ගමන් කරමින් සිටි තරුණයෙකුට නින්ද යාම හේතුවෙන් ගමනාන්තය මඟ හැරී ඇත. මහ රෑ වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති ඔහුට ගම්වැසියන් පිරිසක් පහර දී එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදා හැරීම හේතුවෙන් දැඩි ලෙස ලැජ්ජාවට පත් වූ එම තරුණයා ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවට
පුස්සැල්ලාව පොලිසිය පවසයි. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස තිස් හතරක් වූ රාමචන්ද්‍රා පුවනේස්වරන් නොහොත් මුරලි නැමැති තරුණයෙකි. මොහු රොච්චයිල් වත්ත වයි.ආර්.සී. කොටසේ පදිංචි අවිවාහක තරුණයෙකි. ඔහුගේ දෙමාපියන් මියගොස් ඇති අතර, එකම සහෝදරිය විවාහ වී පිට ප්‍රදේශයක පදිංචියට ගොස් ඇති නිසා රැකියාවක් සඳහා ඔහු කොළඹට ගොස් ඇත.තනිවම ජීවත් වූ ඔහු නිවාඩුවක් ලැබුණු විට සිය ගමේ නිවසට පැමිණ ඇත්තේ නෑදෑයන් හා යහළුවන් හමුවීමටය.
පසුගිය 6 වන දින රාත්‍රියේ කොළඹ සිට පැමිණි ඔහුට බස් රථයේදී නින්ද ගොස් ඇති අතර, ඔහුට බැසීමට තිබූ රොච්චයිල් වත්ත ප්‍රදේශය මඟ හැරී නුවරඑළිය මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයෙන් අවදි වී ඇත. ඒ වන විට වේලාව අලුයම 2 පමණ වී තිබී ඇති අතර නැවත නිවසට යාමට බස් රථයක් නොතිබූ බැවින්, රම්බොඩ ප්‍රදේශයේ පිහිටි තම පුංචි අම්මාගේ නිවසට යාමට තීරණය කර ඇත. වසර ගණනාවක් තිස්සේ එම නිවසට නොගිය නිසා ඔහුට නිවැරදි මාර්ගය අමතක වී ඇති අතර, ඒ බව තහවුරු කර ගැනීම සඳහා රාත්‍රියේදී නිවසක දොරට තට්ටු කර ඇත.
කෙසේ වෙතත්, එම නිවැසියන් ඔහු හොරෙකු ලෙස සිතා කෑගැසීම නිසා අවට පදිංචිකරුවන් පැමිණ ඔහු අල්ලාගෙන පහර දී ඇතැයි පොලිසිය පවසයි. තමාට සිදු වූ අකරතැබ්බය පැහැදිලි කර, සිය පුංචි අම්මා සහ බාප්පා ගැන පැවසීමෙන් පසු පහර දුන් පිරිස ඔවුන්ද එම ස්ථානයට කැඳවා ඇත.
ඔහුගේ බාප්පා සහ පුතුන් දෙදෙනා පැමිණියද, පහර කමින් සිටි පුද්ගලයා හඳුනන්නේ නැති බව පැවසීම නිසා, ඔහුට තව දුරටත් පහර දී කොත්මලේ පොලිසියට භාර දී ඇත. කොත්මලේ පොලිසිය පසුව ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගෙන, ඔහුගේ පුංචි අම්මා සහ බාප්පා ඔහුගේ ඥාතීන් බව හඳුනාගෙන, වෛද්‍ය පරීක්ෂණයක්ද සිදු කර ඇත. එහිදී ඔහු කිසිදු සොරකමක් සිදු නොකළ බව හෙළි වූ බැවින්, පොලිස් ඇප මත ඔහුව ඔහුගේ ඥාතීන් වෙත භාර දී ඇත.
අනතුරුව ඔහුගේ මිතුරන් ඔහුව ත්‍රිරෝද රථයකින් නැවත ගමට ගෙන යමින් සිටියදී ඔහු දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි බව පැවසේ. ඔහුගේ මිතුරෙකු වන දිලීප් කුමාර මේ පිළිබඳව මෙසේ අදහස් දක්වා ඇත. "මුරලි අවුරුදු හතක් විතර විදේශගතව ඉඳලා ආව කෙනෙක්. එයාගේ තාත්තාගේ මළගෙදරට රට ඉඳලා ආවට පස්සේ ආයෙමත් රට ගියේ නෑ. එයා විවාහ වුණේ නැහැ. තනිවම තමයි හිටියේ.
කොළඹ රැකියාවට ගිහින් එනකොට තමයි මේ දේ වුණේ. මිනිස්සු එයාට ගහලා වීඩියෝ කරලා ෆේස්බුක් දාපු නිසා එයා ගොඩක් දුක් වුණා. ලැජ්ජාවට පත් වෙලා හිටියා. මම නිකම්ම හොරෙක් වෙලා රටටම ගියා කියලා එයා කිව්වා. ලැජ්ජාව නිසා මම මොනවා හරි කරගන්නවා කියලා කිව්වා. ඒත් අපි හිතුවේ නෑ මෙහෙම දෙයක් කරගනී කියලා. මිනිස්සු හැමදේම ෆේස්බුක් දාන නිසා නිවැරදි අයත් වැරදිකාරයෝ වෙනවා. කොත්මලේ පොලිස් ස්ථානාධිපති වජිර රත්නායක මහතා ද පැවසුවේ ඔහු හොරකු බව පරීක්ෂණ වලින් හෙළි නොවුණු නිසා පොලිස් ඇප දුන් බවයි.
ඔහු ළඟ තිබුණු පාස්පෝට් එක, ජංගම දුරකථනය සහ ඇඳුම් බෑගයද අපි සොයාගෙන ඔහුට භාර දුන්නා. කෙසේ වෙතත්, මිනිස්සු හරි වැරැද්ද නොබලා හැමදේම මේ ෆේස්බුක් දාන නිසා තරුණ ජීවිතයක් අහිමිවෙලා තියෙනවා. ඔහු පදිංචි පුස්සැල්ලාව පොලිසිය සහ අපේ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණයක් කරනවා." මියගිය මුරලි සිය නිවස තුළ ගෙල වැළලාගෙන සිටියදී හමුවී ඇත. කොත්මලේ හදිසි මරණ පරීක්ෂක ජිනදාස මහතාද සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ගම්පොල රෝහල වෙත යැවීමට පියවර ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval