තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ කැලෑබද ඉඩමක තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැක කෙරෙන රසායන ද්‍රව්‍ය තොගයකින් කිලෝග්‍රෑම් 8,000ක් ඊයේ වන විට කිරා අවසන් කර ඇති බව පොලිසිය පවසයි. මෙම රසායනික ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු එහි සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යැවීමට නියමිතව තිබේ.
අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පත්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් ලද තොරතුරු මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් මිද්දෙණිය,
තලාව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වළ දමා තිබූ රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 42,000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.
මිද්දෙණියේදී සොයා ගත් රසායනික ද්‍රව්‍යවලට සමාන සුදු පැහැති රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ කැලෑබද ඉඩමක ඇති බවට 119 හදිසි ප්‍රතිචාර අංශයට ලද තොරතුරක් මත තංගල්ල පොලිසිය විසින් මෙම රසායනික ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම රසායනික ද්‍රව්‍ය මාස පහකට පමණ පෙර එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවයි. කෙසේ වෙතත්, එම රසායනික ද්‍රව්‍ය එම ස්ථානයට ගෙනවිත් දැමූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මේ වන විට මිද්දෙණිය සහ නෙටොල්පිටිය යන ප්‍රදේශ දෙකම දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පවතී. මෙම වැටලීම් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සහ තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත සිදු කර තිබේ. මිද්දෙණිය ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය කිරා බැලීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතින අතර, අධික වර්ෂාව හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval