a-young-man-was-arrested-for-allegedly-forcing-his-pregnant-girlfriend-to-have-an-abortion

 තම බාලවයස්කාර පෙම්වතිය ගැබිනියක බව දැන ගැනීමෙන් පසු ඇයට ගබ්සාවක් සිදු කර ගැනීම සඳහා ඖෂධයක් ලබා දුන් බව කියන 20 හැවිරිදි තරුණයෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත, වැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු පසුගිය 12 වන දා අත්අඩංගුවට ගෙන ඇත.



මෙම සිදුවීම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ, වයස අවුරුදු 15යි මාස 02ක් වන අදාළ දැරිය රෝගී තත්ත්වයක් මත හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.

එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඇය කිසියම් ඖෂධයක් භාවිත කිරීමෙන් ගබ්සාවකට ලක්වී ඇති බවට තහවුරු වීමත් සමඟ රෝහල් පොලිසිය විසින් හලාවත පොලිස් ස්ථානය දැනුවත් කර තිබේ.

පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති දැරිය, තමන් සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ බවත්, අවස්ථානුකූලව අඹුසැමියන් ලෙස එක්වූ බවත් පවසා ඇත. ගැබිනි බවට සැකකළ අවස්ථාවේ ඒ බව පෙම්වතාට දැන්වූ විට, ඔහු විසින් ගෙනවිත් දුන් පෙති වර්ගයක් පානය කිරීමෙන් පසු තමා මෙසේ රෝගාතුර වූ බවද ඇය සඳහන් කර තිබේ. මව විදෙස්ගතව සිටින අතර පියා විසින් හැර ගොස් ඇති පසුබිමක, ඇය සිය මිත්තණිය සහ සහෝදරිය සමඟ ජීවත් වන බවද හෙළි වී ඇත.

බාලවයස්කාර දැරියක දූෂණය කිරීම සහ නීති විරෝධී ලෙස දරු ගැබක් විනාශ කිරීමට ආධාර කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.