ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාගේ පෞද්ගලික රියදුරු ලෙස සේවය කළ 50 හැවිරිදි පුද්ගලයෙකු, ගාල්ල කොටු පවුර මත උදෑසන ව්‍යායාම කරමින් සිටියදී හදිසියේ මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු පියෙකු වන කොළඹගේ රසික හිරාන් රත්නායක මහතා බව ගාල්ල පොලිසිය හඳුනාගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ සේවායෝජකයා වන ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති හජ්ජියාර් මොහොමඩ් අක්‍රම් මහතා ලබාදුන් සාක්ෂියට අනුව, සිද්ධියට පෙරදින රියදුරු තමන් සමග කොළඹ සිට ගාල්ලට පැමිණ ඇත.
උදෑසන ඇවිදීමට කොටු පවුරට යන බව පවසා ගිය ඔහු එහි ඇද වැටී ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණේ රියදුරුගේ බිරිඳගෙන් ලැබුණු දුරකථන ඇමතුමකිනි. එම ස්ථානයට ළඟා වන විට 1990 සුවසැරිය ගිලන් රථ සේවය පැමිණ ඔහු මියගොස් ඇති බව තහවුරු කර තිබූ බවද සභාපතිවරයා පවසා තිබේ.
කරාපිටිය රෝහලේදී පැවැත්වූ හදිසි මරණ පරීක්ෂණයෙන් සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව, මරණයට හේතුව හෘදයාබාධයක් බවට ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කර ඇත. මියගිය පුද්ගලයා හෘද රෝගී තත්ත්වයකින් පෙළුණු අයෙකු බව තමන් දැන නොසිටි බවත්, ඒ බව දැනගත්තේ සිද්ධියෙන් පසුව ඔහුගේ බිරිඳගෙන් බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval