75-million-worth-of-ice-and-heroin-seized-from-a-gampaha-salon

 කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට පල්ලෙවෙල පොලිසිය සහ බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන් සමත්ව තිබේ. මෙම වැටලීමේදී රුපියල් ලක්ෂ 75කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා ද ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත.



බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, ගම්පහ පල්ලෙවෙල, හිරිවල ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය වටලා තිබේ. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක්, හෙරොයින් ග්‍රෑම් 100ක්, සෙල්ලම් පිස්තෝලයක්, විශේෂ පිහි කිහිපයක්, රුපියල් 46,060ක මුදලක්, ජංගම දුරකතන තුනක් සහ ටැබ් පරිගණකයක් පොලිස් භාරයට ගෙන ඇත.



මෙම මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි රාජ්‍යයේ සිට 'ගැමුණු' නැමැත්තෙකු විසින් මෙහෙයවනු ලබන බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. මීට පෙර මීරිගම, හාපිටිගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කිහිපවරක්ම ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්ව, පසුව විදෙස්ගතව සැඟවී සිටින අයෙකු බවට හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කල්එළිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහුගෙන් මෙම ජාවාරමට අදාළව තවදුරටත් ප්‍රශ්න කරමින් පවතී. පල්ලෙවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.