a-system-is-being-developed-to-take-direct-legal-action-against-corruption-revealed-by-cope-and-copa

 පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා දෙකක් වන කෝප් සහ කෝපා කමිටු මගින් සිදුකරන විමර්ශනවලින් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන රාජ්‍ය නිලධාරීන් නීතිපතිවරයා මඟහැර සෘජුවම පොලීසියට හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වූ මෙම යෝජනාව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය ඉදිරි දිනයකදී විවාදයට ගැනීමට නියමිතව ඇත.

ස්ථාවර නියෝග සඳහා වන මෙම සංශෝධන යෝජනා කර ඇත්තේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සභාපති, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් යන මහත්වරුන් විසිනි.

මෙම සංශෝධන සම්මත වුවහොත්, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා පරීක්ෂා කිරීමෙන් පසුව, බරපතල මූල්‍ය වංචාවක් හෝ දූෂණ ක්‍රියාවක් සිදුව ඇති බවට එම කාරක සභා දෙක නිගමනය කළහොත්, අදාළ කරුණු පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෘජුවම අල්ලස් කොමිසමට හෝ පොලිස්පතිවරයාට දැනුම් දීමට ඔවුන්ට බලය හිමිවනු ඇත.

වත්මන් ස්ථාවර නියෝග ක්‍රමවේදය යටතේ, කෝප් හෝ කෝපා වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා මුදල් අමාත්‍යවරයාට සහ විමර්ශනයට ලක්වන ආයතන භාර අමාත්‍යවරුන්ට යොමු කෙරේ. එම අමාත්‍යවරුන් විසින් සති අටක් ඇතුළත තම නිරීක්ෂණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, කමිටු නිර්දේශ මත පදනම්ව ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රකාශයක් ද ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුව එසේ තීරණය කළහොත් පමණක්, අදාළ වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමේ හැකියාව පවතී.

රාජ්‍ය අංශයේ දූෂණ වැළැක්වීම සඳහා නීති දැඩි කිරීමේ මෙම ප්‍රයත්නය, මෑතකදී සම්මත කරන ලද ජාතික විගණන පනතේ සංශෝධනයත් සමඟ ඉදිරියට පැමිණ තිබේ. එමගින්, විගණන වලදී අනාවරණය වන වංචා, දූෂණ හෝ මුදල් අයථා පරිහරණයන් පිළිබඳ පැමිණිලි සෘජුවම පොලීසියට යොමු කිරීමට විගණකාධිපතිවරයාට බලය ලබා දී ඇත.

එමෙන්ම, මූල්‍යමය  වරදකරුවන් වන නිලධාරීන්ට හෝ ආයතනවලට අධිභාර පැනවීමට ද එම පනත මගින් ඉඩකඩ සලසා ඇත.

මේ අතර, අලුතින් සම්මත කරන ලද ජාතික විගණන (සංශෝධන) පනත යටතේ පිහිටුවිය යුතු සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් අධිභාර සමාලෝචන කමිටුව මෙතෙක් ස්ථාපිත කර නොමැත. විගණකාධිපතිවරයාගේ නිර්දේශ සලකා බලා මූල්‍ය වංචාවක් සඳහා දඩුවමක් ලෙස පැනවිය යුතු අධිභාර මුදල තීරණය කිරීමේ බලය මෙම කමිටුවට පැවරෙනු ඇත. ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා යෝජිත ස්ථාවර නියෝග වෙනස්කම් මේ වන විට සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව වෙත යොමු කර තිබේ.