මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සැප්තැම්බර් 17 වන දා යළි ආරම්භ කිරීමට නියමිතය. පසුගිය කාලය පුරා විවිධ හේතු මත ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවය, කඩවත අන්තර් හුවමාරු පරිශ්‍රයේදී පෙරවරු 10.00ට පැවැත්වෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ද රත්නායක මහතා පවසයි.
කිලෝමීටර් 37ක දිගින් යුත් මෙම කොටස, අධිවේගී මාර්ගයේ පළමු අදියර වන අතර, මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන අදියර මේ වන විටත් ඉදිකර අවසන්ව ඇත. නව ව්‍යාපෘතිය යටතේ, මාර්ගයේ කිලෝමීටර් 15ක පමණ දුරක් කුළුණු මතින් ඉදිකෙරෙන අතර, ගම්පහ, වේයන්ගොඩ සහ මීරිගම යන නගර ආශ්‍රිතව නව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන තුනක් ද ස්ථාපිත කෙරේ.
මෙම ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත මුළු පිරිවැය රුපියල් බිලියන 229ක් ලෙස ගණන් බලා තිබේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරය සහ චීනයේ එක්සිම් බැංකුවෙන් ලැබෙන සහනදායී ණය ආධාර යටතේ අරමුදල් සැපයේ. ඉදිකිරීම් කටයුතු 2028 වසරේ සැප්තැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන් හොන්ග් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත බව ව්‍යාපෘති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval