gossiplanka image 1

 අපරාධ හේතුවෙන් වින්දිතභාවයට පත්වන දරුවන්ට, චූදිතයන්ට මුහුණ දීමකින් තොරව සුරක්ෂිතව සාක්ෂි ලබාදීම සඳහා විශේෂයෙන් සැකසූ ඩිජිටල් තාක්ෂණයෙන් යුත් සාක්ෂි කාමර දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළේ පළමු අදියර මහනුවර මහාධිකරණ පරිශ්‍රයේදී පෙරේදා (17) ආරම්භ විය.



මෙම නව ක්‍රමවේදය යටතේ, අධිකරණ ශාලාවට නොපැමිණ වෙනම කාමරයක සිට දරුවාට සාක්ෂි ලබාදිය හැකි අතර, එමගින් අපරාධකරුවන් ඉදිරියේ නැවත නැවතත් පෙනී සිටීමේදී ඇතිවන මානසික කම්පනය අවම කිරීම අපේක්ෂා කෙරේ.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවන මෙම වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ යුනිසෙෆ් සංවිධානයේ මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක 'යුක්තිය සඳහා සහාය' (JURE) ව්‍යාපෘතිය සහයෝගය දක්වයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට එක්වූ අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, මහනුවරින් ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ දිවයිනේ සියලුම අධිකරණ ආවරණය වන පරිදි පුළුල් කරන බවයි. ළමයින්ට සුරක්ෂිත දේශයක් උරුමකර දීම රජයේ අරමුණ බවත්, ළමා ආරක්ෂණය වෙනුවෙන් නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ අධිකරණ 15ක මෙවැනි ඒකක ස්ථාපිත කරන බවයි. පැවති ක්‍රමය යටතේ දරුවන් දීර්ඝ කාලයක් දැඩි පීඩනයකට ලක්වූ බවත්, මෙම ළමා-හිතකාමී පරිසරය ඔස්සේ ඔවුන්ට යුක්තිය ඉටුකර දීමට හැකිවනු ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.