padme-tried-to-leave-the-hotel-after-receiving-information-that-olugala-had-arrived-in-indonesia

 පාතාල කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්ම සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේම නිලධාරියෙකු විසින් ඔත්තුවක් ලබා දී ඇති බවට කරුණු හෙළිදරව් වී තිබේ.

මෙම මෙහෙයුම සඳහා සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඉන්දුනීසියාවට ගොස් සිටින බවට අදාළ පොලිස් නිලධාරියා විසින් විදෙස්ගතව සැඟවී සිටින 'දරූන්' නමැති වෙනත් පාතාල සාමාජිකයෙකුට දැනුම් දී ඇත.

අනතුරුව 'දරූන්' විසින් එම තොරතුර කෙහෙල්බද්දර පද්ම වෙත ලබා දී ඇති බව විමර්ශන මගින් අනාවරණය වී ඇත. අත්අඩංගුවට පත්වීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කෙහෙල්බද්දර පද්ම පිළිගෙන ඇත්තේ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා තමන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දුනීසියාවට පැමිණ ඇති බවට තොරතුරක් ලැබුණු බවයි. එම ඔත්තුව ලැබීමෙන් අනතුරුව නවාතැන් ගෙන සිටි හෝටලයෙන් මාරු වීමට සූදානම් වන අවස්ථාවේදී තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට පත් වූ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.



සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දන වැඩසටහන් හේතුවෙන් ඔහුට පොලිස් දෙපාර්තමේන්තුව තුළින්ම විවිධ තර්ජන එල්ල වෙමින් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කෙහෙල්බද්දර පද්ම, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ කුඩු නිලංග, තැඹිලි ලහිරු සහ බැකෝ සමන්ගේ බිරිඳ ඉකුත් අගෝස්තු මස 27 වන දින ඉන්දුනීසියාවේ මෙට්‍රොපොලිටන් පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දර යන මහත්වරුන් ඉන්දුනීසියාවේ සිදුකළ නිරීක්ෂණ මෙහෙයුමකින් අනතුරුව ලබාදුන් තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසුව කෙහෙල්බද්දර පද්ම, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ කුඩු නිලංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරන අතර, බැකෝ සමන් සහ තැඹිලි ලහිරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි. බැකෝ සමන් සහ තැඹිලි ලහිරු සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙහෙයවයි.

 ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටින පාතාල නායකයින් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ අයුරු පෙන්වන නාට්‍යමය වීඩියෝ දර්ශන ඉන්දුනීසියානු පොලිසිය විසින් නිකුත් කර තිබේ.කෙහෙල්බද්දර පද්මේ

ඇතුලු පිරිස ජකාර්තාහි අපාර්ට්මන්ට් එකක සැඟව සිටියදී එරට පොලිසිය අල්ලාගත් අයුරු එහි දැක්වේ. වීඩියෝ දෙකක් (කෙටි එකක් හා දිගු එකක්) පහතින්



Short Video



Long Video