walas-katas-mother-goes-to-court-to-get-her-son-out-of-the-hospital-after-breaking-his-legs-while-jumping-from-the-police-station

 කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තිළිණ සම්පත් හෙවත් ‘වලස් කටා’ නැමැත්තා, වෛද්‍ය නිර්දේශයකින් තොරව රෝහලෙන් පිටතට රැගෙන යාම වළක්වන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇත. බස්නාහිර උතුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ රඳවා සිටියදී තුන්වන මහලෙන් බිමට පැනීම නිසා ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.



සැකකරුගේ මව වන දීපශිකා චන්ද්‍රකාන්ති මහත්මිය විසින් ගොනු කළ මෙම මෝසම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෝසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණයට දන්වා සිටියේ සිය සේවාදායකයා වන තිළිණ සම්පත්ගේ ජීවිතයට අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගේ වුවද සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමේ අධිකරණ බලයක්  සතු බවය.

 පාතාල නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ‘වලස් කටා’පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටියදී ඉන් පැන යාමට උත්සාහ කිරීමේදී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියදී ඔහු එම කොට්ඨාසයේ තුන්වන මහලෙන් බිමට පැන මෙම පලායාමේ උත්සාහය දරා ඇත.

පසුගියදා (09) රාත්‍රී 9.00ට පමණ වැසිකිළි යාමේ අවශ්‍යතාවක් මවා පාමින් සිර මැදිරියෙන් පිටතට පැමිණි සැකකරු, සිය ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට පහර දී තල්ලු කර දමා ජනේලයකින් බිමට පැන තිබේ. අඩි 27ක් පමණ උසකින් යුත් ගොඩනැගිල්ලෙන් මීගොමුව-කොළඹ ප්‍රධාන මාර්ගයට පතිත වූ ඔහුගේ පාද දෙකේ සහ වම් අතේ අස්ථි බිඳී ඇති බවත්, ඔහුගේ ජීවිතයට අවදානමක් නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



මෙම පලායාමේ උත්සාහයට පෙර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී කෙහෙල්බද්දර පද්මේගේ අවි ජාවාරම් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබිණි. යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගත් පුද්ගලයන් දෙදෙනෙකු හමුදා කැබ් රථයකින් පැමිණ තමන්ට ටී-56 ගිනි අවි දෙකක් ඇතුළු ආයුධ තොගයක් ලබා දුන් බවට ඔහු විසින් සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

ඉකුත් ජූලි මස 19 වන දා සිදුවූ බව කියන මෙම අවි ගනුදෙනුවෙන් ලැබුණු ආයුධ, කෙහෙල්බද්දර පද්මේගේ නියෝග මත සිදුකරන මිනිස් ඝාතන සඳහා කඩවත ප්‍රදේශයේ ස්ථානයකට භාරදුන් බවද සැකකරු වැඩිදුරටත් හෙළිකර තිබේ.

මෙම හෙළිදරව්වේ සත්‍ය අසත්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහය ඇතිව ඒ පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වේ. මෙම අවි ගනුදෙනුව සම්බන්ධයෙන් ‘වලස් කටා’ විසින් කෙහෙල්බද්දර පද්මේ වෙත යවන ලද හඬ පටයක් ද විමර්ශන අංශ විසින් සොයාගෙන ඇත.



gossiplanka image 2