වොෂින්ටනයේ දී අද (අගෝස්තු 18) පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර පැවැත්වෙන හමුව කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමුවී තිබේ. දෙරටේ නායකයන් අතර තවත් උණුසුම් මත ගැටුමක් ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්,
ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සහ නේටෝ මහ ලේකම් මාර්ක් රූට් ඇතුළු ප්‍රබල යුරෝපීය නායකයින් පිරිසක් ද සෙලෙන්ස්කි සමග මෙම තීරණාත්මක සාකච්ඡාවට එක්වනු ඇත.වසර තුනකට අධික කාලයක් පුරා දිවෙන ලේවැකි යුද්ධයෙන් සහමුලින්ම ආර්ථිකය විනාශ වී ගොස් ඇති යුක්රේනයට, තම භූමියෙන් කොටසක් රුසියාවට පවරා දෙන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි බලපෑමක් එල්ලවෙමින් පවතී. ක්‍රිමියාවේ පාලනය සම්පූර්ණයෙන්ම අත්හැරීමටත්, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන කාර්මික වශයෙන් වැදගත් නගර රුසියාවට පවරා දීමටත් යුක්රේනය එකඟ කරවීම ට්‍රම්ප්ගේ මූලික අරමුණ වී තිබේ. මෙය, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද්ධය නැවැත්වීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසිම වීම විශේෂත්වයකි.
මෑතකදී ඇලස්කාවේදී ජනාධිපති පුටින් හමුවීමෙන් අනතුරුව ට්‍රම්ප් මෙම යෝජනාව පිළිබඳව විවෘතව අදහස් පළකිරීමට පටන් ගෙන ඇත. කෙසේ වෙතත්, CNN සහ New York Times වැනි ප්‍රධාන පෙළේ ඇමරිකානු මාධ්‍ය, එම හමුව ට්‍රම්ප්ගේ රාජ්‍ය තාන්ත්‍රික පරාජයක් ලෙසත්, පුටින් ලද විශාල ජයග්‍රහණයක් ලෙසත් විග්‍රහ කර තිබිණි. ට්‍රම්ප් සහ පුටින් අතර පැවති හමුව රුසියාව ලද ජයග්‍රහණයක සංඥාවක් බව සෙලෙන්ස්කි පවා පිළිගෙන තිබීමෙන් තත්ත්වයේ බරපතලකම පැහැදිලි වේ.
මෙවර යුරෝපීය නායකයින්ගේ මැදිහත්වීම විශේෂයෙන් වැදගත් වන්නේ පසුගිය පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර ධවල මන්දිරයේ පැවති හමුව ඉතා උණුසුම් මුහුණුවරක් ගැනීම හේතුවෙනි. එම සාකච්ඡාවේදී, යුද්ධයට සහ තුන්වන ලෝක යුද්ධයකට මග පාදන්නේ සෙලෙන්ස්කිම බවට ට්‍රම්ප් චෝදනා කළ අතර,
යුක්රේන ජනාධිපතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහයට පවා සහභාගී නොවී ධවල මන්දිරයෙන් පිටව ගියේය. එම සිදුවීමෙන් පසු යුක්රේනයට ලැබෙන ඇමරිකානු ආධාර අර්ධ වශයෙන් අත්හිටුවීමට ද ට්‍රම්ප් පාලනය පියවර ගෙන තිබිණි.
ට්‍රම්ප්ගේ කොන්දේසි තමන් කිසිසේත්ම පිළිනොගන්නා බව සෙලෙන්ස්කි මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇත. එබැවින්, අද පැවැත්වෙන සාකච්ඡාව ද ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති. කලක් නේටෝ සාමාජිකත්වය ගැන පවා බලාපොරොත්තු තබා, ඇමරිකාවේ සහ බටහිර රටවල සහයෝගය මත රුසියාව සමග දිගුකාලීන යුද්ධයකට අවතීර්ණ වූ යුක්රේනයට, අවසානයේදී තම භූමියෙන් කොටසක් පවරා දෙමින් පාඩු ලබන ගනුදෙනුවකට එළඹීමට සිදුවේද යන්න පිළිබඳව ජාත්‍යන්තරය දැඩි අවධානයෙන් පසුවෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval