no-bail-for-oic-who-took-bribe-from-sand-smuggler

 වැලි ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් හතළිස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් ඔක්කොම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 





කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ මෙම නඩුව විභාගයට ගත් අතර, එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකාර පොලිස් නිලධාරියා එළඹෙන අගෝස්තු මස 25 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවන ලෙසය.

සැකකාර ස්ථානාධිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා, සිය සේවාදායකයාගේ දියණිය මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දෙන බැවින් එය විශේෂ කරුණක් ලෙස සලකා ඔහුට ඇප ලබා දෙන මෙන් ඉල්ලීමක් සිදු කළේය.



කෙසේ වෙතත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් එම ඇප ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේය. ඔවුන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිදුවීමට අදාළ විමර්ශන තවමත් ක්‍රියාත්මක වන බැවින් සැකකරුට ඇප ලබා දීම සුදුසු නොවන බවයි.

දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළාය.