පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමග අද (22) අලුයම හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි හුවමාරුවකින්, කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක හිමිකරුගේ පුත්‍රයාව ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන 'බේරුවල කෝසල' නැමැත්තා මරණයට පත්ව තිබේ.
මෙම සිදුවීම වාර්තා වන්නේ, පසුගිය ජූලි 31 වනදා කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී 23 හැවිරිදි අරුණ මෙන්ඩිස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය එක්ව කළ වැටලීමකදීය.
සැකකරු සූරියවැව, වැවේගම කැලෑබද ප්‍රදේශයක සැඟවී සිටින බවට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
අද අලුයම 5.00ට පමණ නිලධාරීන් එම ස්ථානය වැටලීමට උත්සාහ කළ අවස්ථාවේ, සැකකරු ඔවුන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළා යාමට තැත් කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, එම අවස්ථාවේදී නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර වෙඩි පහරින් සැකකරු මියගිය බවයි. මෙම සිදුවීමේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුද තුවාල ලබා ඇත.
මියගිය දොන් කෝසල හෙවත් 'බේරුවල කෝසල' මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ජූලි 31 වනදා අලුයම 5.15ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ටී-56 ගිනි අවියකින් වෙඩි තබා අරුණ මෙන්ඩිස් ඝාතනය කර තිබූ අතර, එහි ප්‍රධාන වෙඩික්කරු මොහු බවට පොලීසිය හඳුනාගෙන තිබිණි.
සංචාරක මගපෙන්වන්නෙකු ලෙස සේවය කළ අරුණ මෙන්ඩිස්, සිය පියාට අයත් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට සංචාරකයින් රැගෙන ඒම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට මුල් වන්නට ඇති බවට පොලීසිය මූලික විමර්ශනවලදී සැක පළ කර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval