two-schools-clash-during-peradeniya-hockey-match-2-hospitalized

 මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ හොකී අවසන් මහා තරගය, ක්‍රීඩකයන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලීය හොකී ක්‍රීඩාංගණයේදී පැවති මෙම තීරණාත්මක තරගයට සුදුසුකම් ලබා තිබුණේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයි.



තරගය ආරම්භ වී මිනිත්තු දොළහක් ගතවූ වහාම විද්‍යාර්ථ විද්‍යාලය විසින් ගෝලයක් වාර්තා කිරීමත් සමග ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයන් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන්ගෙන ඇති බව වාර්තා වේ. ඔවුන් විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩකයින්ට හොකී පිතිවලින් පහරදීමක් සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී තත්ත්වය පාලනයෙන් ගිලිහී ගොස් ඇත.



මෙම පහරදීමෙන් විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් එක් ක්‍රීඩකයෙකුගේ හිසට මැහුම් යෙදීමටද සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, තරගය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට විනිසුරුවරයා තීරණය කිරීමත් සමඟ එය නතර කර දමා ඇත.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් මීට පෙර ත්‍රිත්ව විද්‍යාලය ඇතුළු තවත් පාසල් කිහිපයක් විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවද වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.