digs-wife-digs-up-sravastipura-treasures

 ශ්‍රාවස්තිපුර, තිබිරිගස්කඩවල ප්‍රදේශයේ ඉඩමක නිදන් හෑරීමේ නිරතවූ බව කියන පුද්ගලයින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩාﻳමක් අනුරාධපුර පොලිසිය විසින් පෙරේදා (14) දින අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අතර කොළඹ ප්‍රදේශයේ සේවය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳක්ද සිටින බව පොලිසිය විසින් තහවුරු කර ඇත.





ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ මෙම කණ්ඩායම විසින් නිදන් හෑරීමක් සිදුකරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල, මාලිගාතැන්න, පදවි-ශ්‍රී පුර, ගිරාඳුරුකෝට්ටේ, වරකාපොල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

මෙම ජාවාරම සඳහා යොදාගත් උදලු, අලවංගු සහ යකඩ ඉනි ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.