
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි සිංගප්පූරු ජාතිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබාගත් බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි. සැකකරුවන් අතර පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු වන අතර, ඔවුන් දෙදෙනාම බම්බලපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන්නන්ය.
මෙම සිංගප්පූරු ජාතිකයා කිරුළපන සිට කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් වෙත ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය අසලදී සැකකාර පොලිස් නිලධාරීන් විසින් ඔහුව නවත්වා පරීක්ෂාවට ලක්කර තිබේ.
එහිදී ඔහුගේ ගමන් මල්ලේ තිබී විද්‍යුත් දුම්වැටි දෙකක් සොයාගෙන ඇත.
විද්‍යුත් දුම්වැටි ළඟ තබාගැනීම නීති විරෝධී බවත්, ඒ සඳහා අධිකරණයට ඉදිරිපත් කළහොත් රුපියල් 50,000ක දඩයක් නියම වන බවත් පොලිස් නිලධාරීන් ඉංග්‍රීසි භාෂාවෙන් සංචාරකයාට පවසා ඇත. එම නීතිමය ක්‍රියාමාර්ගයෙන් වැළකී සිටීමට අවශ්‍ය නම් රුපියල් 40,000ක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබේ. පසුව සිංගප්පූරු ජාතිකයා ඒ අසල පිහිටි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් රුපියල් 30,000ක් ලබාගෙන,
ඔහු සතුව තිබූ රුපියල් 10,000ක් ද සමග මුළු මුදල පොලිස් නිලධාරියාට ලබාදී ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිදුවීමෙන් අනතුරුව සංචාරකයා පොලිස් සංචාරක කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, තමාට එම නිලධාරීන්ව නැවත හඳුනාගත හැකි බවත්, ත්‍රිරෝද රථයේ රියදුරු ද ඒ සඳහා සාක්ෂි ලබා දීමට සූදානම් බවත් දන්වා තිබේ. එම පැමිණිල්ල බම්බලපිටිය පොලිසියට යොමු කිරීමෙන් පසුව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ අනෙක් පොලිස් නිලධාරියා සිය ගම් ප්‍රදේශයට ගොස් ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ. අත්අඩංගුවට ගත් 42 සහ 57 යන වයස්වල පසුවන සැකකරුවන් රුවන්වැල්ල සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval