--------------------
1.30pm update
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද, අගෝස්තු 22 වන දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත වාර්තා කර තිබුනේ කැඳවීමකට අනුව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය. එම ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවේ.
මෙම කැඳවීම සිදුකර තිබුනේ ඒ මහතා ජනාධිපති ධුරය හොබවන සමයේ විදෙස් සංචාර මුදල් අවභාවිතාව සිදු වූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවය. වාර්තා වන ආකාරයට, සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම පිණිස ලන්ඩන් නුවර වෙත යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වේ.
වික්‍රමසිංහ මහතා සිය ධුර කාලය තුළ විදේශ සංචාර තිස් තුනක් සිදු කර ඇති අතර, එම සංචාර සඳහා 154 දෙනෙකු සහභාගී කරවාගෙන ඇත.
2023-2024 කාලය තුළ, ඔහු විදේශ සංචාර සඳහා රුපියල් කෝටි පනස් තුනකට අධික මුදලක් වැය කර ඇති අතර ඒවා සඳහා කිසිදු ඵලයක් නොලැබෙන විපක්ෂ මන්ත්‍රීවරුන්ද කැටුව යාම විශේෂිතය.
- රනිල් වික්‍රමසිංහ මහතා එළිසබත් මහ රැජිනගේ අවමංගල උත්සවයට සහභාගි වූ අවස්ථාවේදී දස දෙනකු ඔහු සමඟ එහි ගොස් ඇත.
- ජපානයේ හිටපු අගමැතිවරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට වික්‍රමසිංහ මහතා සමඟ 18 දෙනකු ගොස් ඇත.
- තුන්වැනි චාල්ස් රජුගේ 2023 පැවති රාජාභිෂේක උත්සවයට සහභාගි වීමට වික්‍රමසිංහ මහතා සමඟ දොළොස් දෙනකු ගොස් ඇත.
- ඉන්දියාවේ සංචාරය සඳහා 23 දෙනකු සහභාගී වී ඇත.
2023 හවානා නුවර පැවති G77 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව පළමුව නිව්යෝර්ක් නුවරට පැමිණ, අනතුරුව ලන්ඩන් නගරයට ගමන් කර ඇත්තේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්ව විද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රදානය කිරීමේ උත්සවයක් සදහායි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවයට සහභාගී වූයේ නිව්යෝර්ක් නුවරට ගොස් පැමිණෙන අතරමගදී රජයේ මුදලින් පුද්ගලික ගමනක් වෙනුවෙන් බව අල්ලස් කොමිසම පවසයි.
මේ ගැන රනිල් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයේ දෙන්නෙකුගෙන් තොරතුරු මින් ඉහත ලබාගෙන තිබූ අතර පසුව ඔහුගෙන්ද කරුණු තහවුරු කරගෙන තිබේ.
වික්‍රමසිංහ මහතා අද දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණි බව තහවුරු වී තිබූ අතර,
පැය කිහිපයකට පසු අත්අඩංගුවට පත් විය. ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කරනු ඇත. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේද ඇප ලබාදෙන්නේද යන්න අද සවස අධිකරණයේදී තීරණය වනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval