රත්නපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු, සිය රාජකාරී වේලාව තුළදී පොදු චක්‍රලේඛ උල්ලංඝනය කරමින් පුද්ගලික රෝහලක සැත්කමකට සහභාගී වීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. මෙම සිදුවීම පසුගිය අගෝස්තු 14 වන දින සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේෂ් පුතාපසිංහ මහතා, "පුද්ගලික රෝහලක හදිසි අවස්ථාවකදී විශේෂඥ වෛද්‍යවරුන්ට සේවය සඳහා යා හැකි ක්‍රමවේදයක් චක්‍රලේඛ මගින් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව, අදාළ පුද්ගලික රෝහල විසින් රජයේ රෝහලේ අධ්‍යක්ෂවරයා දැනුවත් කළ යුතු අතර, වෛද්‍යවරුන් යොමු කරන්නේ අධ්‍යක්ෂවරයා විසිනුයි. නමුත් මෙම අවස්ථාවේදී ඒ කිසිවක් සිදුව නැහැ," යනුවෙන් පැවසීය. අදාළ වෛද්‍යවරුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු දැනුවත් කර පිටව ගොස් ඇති නමුත්, එවැනි අනුමැතියක් දීමට ඔහුට බලයක් නොමැති බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. මෙලෙස පිටව ගොස් ඇත්තේ නොමේරූ ළදරු ඒකකය භාර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සහ පැය 24 පුරා රාජකාරියේ සිටිය යුතු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval