those-who-attacked-a-female-doctor-with-a-sharp-knife-and-broke-her-necklace-are-caught-after-traveling-73-kilometers

 වෛද්‍යවරියකට උල් පිහියක් පෙන්වා මරණීය තර්ජන එල්ල කර, ඇය සතු රන් මාලයක් සහ ලැප්ටොප් පරිගණකයක් කොල්ලකෑ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු, කිලෝමීටර් 73ක දුරක් පුරා CCTV කැමරා 500ක් පමණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලිසිය සමත්ව තිබේ.



පසුගිය 15 වන දා අලුයම යාපනයේ සිට පැමිණි මෙම වෛද්‍යවරිය, මාලඹේ පිහිටි සිය නිවසට යාම සඳහා වැල්ලවත්ත බස් නැවතුම්පොළේ රැඳී සිටියදී මෙම කොල්ලයට මුහුණ පා ඇත. යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් තිදෙනෙකු පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා, ඇය පැළඳ සිටි පවුමක රන් මාලය සහ ලැප්ටොප් පරිගණකය තිබූ අත්බෑගය කොල්ලකා පළාගොස් තිබූ බවට පොලිසියට පැමිණිලි කර තිබිණි.

රුපියල් 453,000ක් වටිනා දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව, වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශය දින 10ක් පුරා අඛණ්ඩව විමර්ශන සිදු කළේය. සැකකරුවන් පළාගිය මාර්ගය ඔස්සේ කිලෝමීටර් 73ක් දුරට සවිකර තිබූ CCTV දර්ශන 500ක් පමණ විශ්ලේෂණය කරමින් මෙම විමර්ශනය ක්‍රියාත්මක විය.



විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු ඇහැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී, කොල්ලකන ලද රන් මාලය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට රුපියල් 105,000කට උකස් කර තිබියදී සොයාගෙන තිබේ. ඊට අමතරව, සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණකය සහ කොල්ලය සඳහා යොදාගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු, 2011 වසරේදී බම්බලපිටියේ ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක කර්තෘ මණ්ඩල සාමාජිකාවකගේ නිවසකට ඇතුළු වීමේ සිද්ධියකට සම්බන්ධ අයෙකු බවටද හඳුනාගෙන තිබේ. මෙම කොල්ලකෑම් කල්ලියට එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සම්බන්ධ බවත්, ඉන් වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.

කොළඹ දකුණු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



gossiplanka image 2