the-conductors-ex-girlfriend-was-kidnapped-and-raped-in-a-room-with-a-three-wheeler-driver

 වයස අවුරුදු 18ක තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ බස් කොන්දොස්තරවරයෙකු සහ ඔහුට සහාය දුන් ත්‍රිරෝද රථ රියදුරෙකු ලබන සැප්තැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර තිබේ. මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ පසුගිය 28 වනදාය.



මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඉංගිරිය, නම්බපාන ප්‍රදේශයේ පදිංචි 35 සහ 36 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ත්‍රිරෝද රථ රියදුරුගේ සහාය ඇතිව කොන්දොස්තරවරයා විසින් මෙම තරුණියව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්, ඔහු නවාතැන් ගෙන සිටි නම්බපාන ප්‍රදේශයේ කුලී කාමරයකදී දෙදෙනා එක්ව මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

ප්‍රධාන සැකකාර කොන්දොස්තරවරයා මීට පෙර මෙම තරුණිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත්, පසුව ඇය එම සම්බන්ධය නතර කර ඔහුව මඟ හැරීම නිසා එයට පළිගැනීමක් ලෙස මෙම අපරාධය සිදුකර ඇති බවත් අධිකරණයේදී කරුණු ඉදිරිපත් විය.

මෙම සිදුවීමෙන් පසු තරුණිය විසින් ඉංගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇයව හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.

ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති දර්ශන කොල්ලුරේ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. අධිකරණයේදී පොලිසිය වෙනුවෙන් පොලිස් සැරයන් රාමනායක මහතා කරුණු දැක්වූ අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න මහතා පෙනී සිටියේය.