
කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි එකොළොස් හැවිරිදි ශිෂ්‍යාවක් පාසල නිමවීමෙන් පසු හදිසියේ ක්ලාන්ත වී ඇද වැටීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ. මෙම ශිෂ්‍යාවගේ මරණයට නිශ්චිත හේතුවක් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී නොමැති අතර, අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ලබා දී ඇත.
සීගිරිය, තල්කොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි කෞෂි රෂ්මිකා අබේරත්න නමැති මෙම දැරිය පසුගිය සිකුරාදා දිනයේ පාසල් වේලාවෙන් පසු නැවත නිවෙස බලා පිටත් වීම සඳහා පාසල ඉදිරිපිට නවත්වා තිබූ බස් රථය වෙත පැමිණෙමින් සිටියදී මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇත. ඒ මොහොතේම බස් රථයේ සේවක මඩුල්ල විසින් ඇයව කැකිරාව රෝහලට ඇතුළත් කර ඇති නමුත්, විනාඩි කිහිපයක් ඇතුළත ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරුව දැරියගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කෙරුණු අතර, එහිදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි විය. ඒ අනුව, මරණයට හේතුව සොයා ගැනීම සඳහා ශරීර කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට තීරණය කර, විවෘත තීන්දුවක් ලබා දීමෙන් පසු දේහය පසුගිය සෙනසුරාදා (02) දෙමාපියන්ට භාර දෙන ලදී.
කෞෂි රෂ්මිකා ශිෂ්‍යාව සිය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයෙනි. පසුගිය පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 153ක් ලබා ගනිමින් කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමේ සිහිනය සැබෑ කරගත් ඇය, අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහාද දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවක බව ඇයගේ දෙමාපියෝ පවසති.
කිසිදු රෝගී තත්ත්වයකින් නොපෙළුණු තම දියණියගේ හදිසි වියෝව ඇයගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ මුළු මහත් සීගිරිය ගම්මානයටම දැඩි කම්පනයක් ඇති කර තිබේ. ඇයගේ දේහය නිවස වෙත රැගෙන ආ අවස්ථාවේදී විදුහල්පතිවරයා, ආචාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයේ රැඳී සිටිමින් දෙමාපියන්ගේ ශෝකය බෙදා ගත්හ.

Comments
Post a Comment
Your comment will be visible after approval