decisive-parliamentary-debate-on-deshabandus-post-as-igp-tomorrow

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධ යෝජනාවක් පිළිබඳව වන පාර්ලිමේන්තු විවාදය හෙට (05) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම තීරණයට එළැඹුණේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීය. 



හෙට දිනට නියමිත පාර්ලිමේන්තුවේ අනෙකුත් මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව, පෙරවරු 11.30 සිට පස්වරු 4.00 දක්වා මෙම විශේෂ විවාදය පැවැත්වීමට නියමිතය. විවාදය පැවැත්වෙන හෙට දිනයේ කොළඹ ප්‍රදේශයේම රැඳී සිටින ලෙසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙත දැනුම් දීමක්ද සිදුකර ඇත.



2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තියට අනුකූලව මෙම යෝජනාව විවාදයට ගැනෙනු ඇත. විවාදය අවසානයේ, එනම් පස්වරු 4.00 ට පමණ, යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව මෙම යෝජනාව සම්මත වීම සඳහා මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ, එනම් නිරපේක්ෂ බහුතරයකගේ, ඡන්දය අවශ්‍ය වේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එල්ල වූ විෂමාචාර චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ පරීක්ෂණ කමිටුව, ඔහු වරදකරු බවට නිගමනය කරමින් සිය වාර්තාව මීට පෙර කථානායකවරයා වෙත භාර දෙන ලදී. එම කමිටු වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අද (04) දිනයේ පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කිරීමට නියමිතව තිබිණි. යෝජනාව සම්මත වුවහොත්, කථානායකවරයා විසින් එම බව ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ලබන අතර, ඉන් අනතුරුව අදාළ නිලධාරියා ධුරයෙන් ඉවත් කිරීම සම්ප්‍රදානුකූලව සිදු කෙරේ.