ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු ප්‍රධාන පෙළේ සාමාජිකයින් පස්දෙනෙකු හෙට (31) දිවයිනට රැගෙන ඒමට නියමිතය. ඔවුන් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායමක් අද (30) උදෑසන ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට ටික කලකට පෙර ඉන්දුනීසියානු සහ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් එක්ව ජකර්තා නුවර සිදුකළ විශේෂ මෙහෙයුමකදී කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු නැමැති මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබිණි.
මෙම ප්‍රධාන සැකකරුවන් මෙරටට රැගෙන ඒමට කටයුතු යොදා ඇත්තේ, එම මෙහෙයුමේදී අත්අඩංගුවට පත්ව පසුව නිදහස් කර මෙරටට පිටුවහල් කළ ‘බැකෝ සමන්’ නැමැත්තාගේ බිරිඳ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (29) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.
ඉන්දුනීසියාවෙන් පිටුවහල් කළ ඇය සහ දරුවා ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළට පැමිණි අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපළ ඒකකය මගින් ඔවුන්ව භාරයට ගෙන මූලික ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. අනතුරුව ඊයේ රාත්‍රී 10.00ට පමණ ඇයව කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන එනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජු සබඳතා පැවැත්වීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගත් බවයි. අදාළ ජාවාරම්කරුවන් පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ඇයගෙන් මේ වන විටත් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.
ප්‍රශ්න කිරීම් හමුවේ ඇය හෙළි කර ඇත්තේ, තමන් 2023 වසරේදී ඩුබායි රාජ්‍යයට ගොස් එහි කලක් රැඳී සිට, පසුගිය ජූලි මාසයේදී ඉන්දුනීසියාවට පැමිණි බවයි.
ඇය ඹවුන් කණ්ඩායම සිදුකළ අපරාධ හා ඒවා සිදුකර සැඟව සිටි ආකාරය ගැන විස්තරාත්මක හෙළිදරව් කර ඇති අතර පොලිසිය එම තොරතුරු ඉදිරි පරීක්ෂණ සඳහා ලබාගෙන ඇති බව සඳහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval