
හම්බන්තොට, සූරියවැව, වැවේගම වනගත ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ සැකකරුවන් පිරිසක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් එක් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කළ වැටලීමක් අතරතුර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
මෙම සිදුවීමෙන් තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම, වෙඩි හුවමාරුව අතරතුර තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු ද ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.
අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයේ රැඳී සිට ඇති අතර, ඉන් එක් අයෙකු වෙඩි හුවමාරුව මධ්‍යයේ පළා යාමට සමත් වී ඇත. පළා ගිය සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක ය. සැකකරුවන් විසින් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ දිශාවට අත්බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා, මෑතකදී කොස්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බවට පොලීසිය සැක පළ කරනු ලබයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval