2022 වසරේ මැයි මස 09 වන දින ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය වළක්වාලීමට අදාළ නියෝග ලබා නොදීම තුළින් සිය වගකීම පැහැර හැරියේ යැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, අගෝස්තු මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඊයේ (21) නියෝග කළාය.
විමර්ශන කටයුතු සඳහා හිටපු ජනාධිපතිවරයෙකුගෙන් මෙන්ම තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. සැකකරු හිටපු පොලිස්පතිවරයා බැවින්, ඔහුට ඇප ලබා දීමෙන් විමර්ශන සඳහා සාක්ෂි ලබා දීමට නියමිත යටත් නිලධාරීන්ට අනවශ්‍ය බලපෑම් එල්ල විය හැකි බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා කරුණු දක්වමින් පැවසීය.
මෙහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා-
සැකකරුවකු සම්බන්ධයෙන් අදාළ වන්නේ ඇප පනතේ 5 සහ 14 වගන්තියයි. මාගේ උගත් මිත්‍රයා කරුණු දෙකක් කිවුවා. අභියාචනාධිකරණ තීන්දුව නිෂ්ප්‍රභ කර තිබෙනවා කිවුවා. එම නඩුවේ පෙනී සිටි නීතිඥවරයාගේ උපදෙස් මත තාවකාලික අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් ලබා දී තිබෙන්නේ. නිෂ්ප්‍රභ කිරීමක් සිදුව නැහැ. නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයෙන් සහන ගණනාවක් ඉල්ලා තිබෙනවා. නිවැරදි කිරීමට යටත්ව දන්වා සිටින්නේ අවශ්‍ය විමසුමට තබා තිබෙන්නේ. නියෝගයේ අවසාන කොටස කියවන්න අවසරයි. ‘‘මෙම වාර්තා ගොනු කර ඇති ආකාරය සලකා බැලීමේදී නීතිපතිවරයා බලතල ඉක්මවා ඇති බව පැහැදිලි වන අතර එය අශෝභන ක්‍රියාවකි. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය හැකි වැරදි සඳහා පෙත්සම්කරු අනුබල දීම සම්බන්ධයෙන් යම්කිසි සාක්ෂියක් නොමැති බැවින් ලකුණු කර ඇති නියෝගය සුවිශේෂි තත්ත්වයක් යටතේ පැමිණෙන බව නැවත අවධාරණය කරනු කැමැත්තෙමි. එසේම නීතිපතිවරයා නඩු පැවරීමට ගත් තීරණය අසාධාරණ අයුක්ති සහගත බව ප්‍රකාශ කිරීමට පසුබට නොවෙමි”
එහෙයින් ස්වාමීනි නීතියේ සහන එක ආකාරයකින් තියෙන්නේ. දේශබන්දුට නීතිය වෙනස් වන්නේ නැහැ. පොලිසිය කළ විමර්ශනවල කිසිදු සාක්ෂියක් නැහැ. ඔහු කොළඹ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා. නීතිපතිවරයා, සිදු වීමෙන් පසුව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව විමසනවා මේ කටයුතුවලට බාධා කරනවාද කියා. ඊට පිළිතුරු ලෙස ලේකම්වරයා විසින් 2022.06.21 බලපෑම් කළ බවට සාක්ෂි නැති බවට ලිඛිතව දැනුම් දෙනවා. නීතිපතිවරයා අධිකරණ සේවා කොමිසමෙන් විමසනවා. 2023.11.17 ඊට පිළිතුරු ලෙස අධිකරණයට පිටපත් සහිතව අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා විසින් පොලිස් කොමිසමේ රැස්වීමේ දී තීරණය කළ බව දන්වමින් ලිඛිතව දැනුම් දෙනවා විනයානුකූලව පියවර ගැනීමට කරුණු නොමැති බවටත් අතිරේක විනය පියවර ගැනීමට කරුණු නැති බවටත් දන්වමින්.
ස්වාමීනි, මම කරපු වැරැද්ද මොකක්ද? විමර්ශන කරන්නේ පොලීසිය මිසක් නීතිපතිවරයා නෙවෙයි. මට විරුද්ධව කිසිදු සාක්ෂියක් අදටත් නැහැ. මම මගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න අධිකරණයට යන්නේ. ඒ නිසයි අපේක්ෂිත ඇපයක් ඉල්ලන්නේ. මම අධිකරණයේ අපේක්ෂිත ඇපය ප්‍රතික්ෂේප වූ පසු හෙට දින බාර වෙන බව දැනුම් දුන්නා. ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී විනාඩි 45 තුළ අත්අඩංගුවට ගන්නවා.
මගේ සේවාදායකයා හොඳම පොලිස් නිලධාරියෙක්. වසර 36ක සේවා කාලයක් සපුරා ඇති ඔහු 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩ බැලූ අයෙක්. සුදුසු ඔනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින්න.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා-
අභියාචනාධිකරණය කොහොමද තීරණය කරන්නේ සැකකරුට එරෙහිව සාක්ෂි තියෙනවාද නැද්ද කියලා. විමර්ශන වාර්තා ඉදිරිපත් කර තිබුණේ නැහැ. නඩු දාන්න සාක්ෂි තිබෙනවාද කියා තීරණය කරන්නේ නීතිපතිවරයා විසින්. සාක්ෂි පරීක්ෂා කර 2023.04.19 නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබෙන්නේ. අරලියගහ මන්දිරයේ සිටි පිරිස මයිනාගෝගම, ගෝඨාගෝගමට පහර දුන්නා නැවතුවේ නැහැ. ගෝල්ෆේස් වටරවුමේ දී නවත්වන්න තිබුණා ටාජ් හෝටලය ළඟදීවත් නවත්වන්න උත්සාහ කළේ නැහැ. ක්‍රියාත්මක වෙන්නද කියා අසා පොලිස් නිලධාරීන් නියෝග පතා තිබුණා. මම කියනකම් ඉන්න කියා තිබුණා. අඩුම තරමේ ජල ප්‍රහාරයක්වත් එල්ල කළා නම් තත්ත්වය ටිකක් හරි අඩු කරගන්න තිබුණා. මිනිස්සු පවා කියා තිබුණා.
ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා-
වාර්තා කියවා නැහැ. මේ පුද්ගලයා එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ඊට ඉහළ නිලධාරීන් සිටියා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහත්වරුන්ගේ ප්‍රකාශ බලන්න. ඒවායේ අදාළ උපදෙස් සම්බන්ධයෙන් තිබෙනවා. මේ අයට අවශ්‍ය වන්නේ ප්‍රාණ ඇපකරුවෙක් කරගන්න.
මහේස්ත්‍රාත්වරිය-
තව කරන්න තියෙන විමර්ශන මොනවාද
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා-
හිටපු ජනාධිපතිවරයකුගේ ප්‍රකාශ සටහන් කිරීමට තිබෙනවා. පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශ ගැනීමට තිබෙනවා.
මහේස්ත්‍රාත්වරිය
සාක්ෂි සටහන් කිරීමට තිබෙන්නේ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් ද? පහළ පොලිස් නිලධාරීන්ගෙන් ද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා-
පහළ පොලිස් නිලධාරීන්ගෙන්
මහේස්ත්‍රාත්වරිය-
අදාළ ප්‍රකාශ සතියක් තුළ සටහන් කරගන්න. ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. සැකකරු ලබන 27 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියම කරනවා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා, තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් විමර්ශන මගින් ඉදිරිපත් වී නොමැති බවත්, ඔහු ඕනෑම සුදුසු ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
සතියක් ඇතුළත අදාළ සියලු පොලිස් නිලධාරීන්ගේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ ප්‍රකාශ සටහන් කර ගෙන විමර්ශන අවසන් කොට අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළාය. එමෙන්ම, සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටද නියෝගයක් නිකුත් කෙරිණි.
අධිකරණ නියෝගයෙන් පසුව කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ දේශබන්දු තෙන්නකෝන් මහතා, ආරක්ෂක හේතූන් මත ඊයේ (21) රාත්‍රියේම දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval