සුප්‍රීම්සැට් ආයතනය විසින් අභ්‍යවකාශ ගත කළ බව කියන චන්ද්‍රිකාවට සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න සහ ඒ සඳහා මුදල් ආයෝජනය කළේ කවුරුන්ද යන්න සොයා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ පැවති ආර්ථික තත්ත්වය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (07) අනාවරණය කළේය.
මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,
අදාළ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට ලබාදුන් පිළිතුර සැකසීමේදී ආයෝජන මණ්ඩලයේ (BOI) නිලධාරීන් අතින් බරපතළ වරදක් සිදුව ඇති බවයි. එම දත්තමය දෝෂය නිවැරදි කරන බවත්, "චිචීගේ රොකට්ටුව" ලෙස කතාබහට ලක්වූ මෙම ව්‍යාපෘතියේ සැඟවුණු තොරතුරු සියල්ල එළියට ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.
අදාළ සුප්‍රීම්සැට් සමාගම 2013-2014 කාලයේදී රුපියල් මිලියන 12,104ක ආයෝජනයක් සිදුකර ඇති බවට BOI වාර්තාවල දැක්වුණද, එහි ආදායම ලෙස අගමැතිවරියට ලබා දී ඇත්තේ එම සමාගමට අනුබද්ධ ග්ලෝබල් හෝල්ඩින් නමැති රූපවාහිනී නාලිකාවක ආදායම බව අමාත්‍යවරයා හෙළි කළේය. එම වැරදි දත්ත නිවැරදි කළ යුතු බවද ඔහු පැවසීය.
චීනයේ ඇරෝ ස්පේස් ආයතනය මගින් 2012 නොවැම්බරයේදී මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කළ බව පැවසුනද, ඩොලර් මිලියන 320ක් වැයවූ බව කියන මෙහි මුදල් ආයෝජකයින් කවුරුන්ද යන්න ගැටලුවක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. සමාගමේ 2013-2014 ගිණුම් වාර්තාවල වත්කමක් ලෙස සටහන්ව තිබූ මෙම චන්ද්‍රිකාව, 2014-2015 ගිණුම් වාර්තාවලින් අතුරුදන්ව ඇති බවත්, එය "ගිණුම්වලින්ම ඉවත් කර" ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම සමාගම 2022 වසරෙන් පසු ආයෝජන මණ්ඩලය වෙත ගිණුම් වාර්තා පවා ලබා දී නොමැති අතර, පාඩු ලබමින් පවත්වාගෙන යන්නක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. ශ්‍රී ලංකාවට හිමිව තිබූ අභ්‍යවකාශ කක්ෂීය අයිතිය භාවිත කිරීම සඳහා මෙම සමාගම කඩිනමින් පිහිටුවා ඇත්දැයි සැකයක් පවතින බවත්, අතුරුදන් වූ චන්ද්‍රිකාව සහ ඒ සඳහා යෙදවූ ආයෝජන පිළිබඳ සත්‍යය පරීක්ෂණ මගින් හෙළිකර ගන්නා බවත් ඔහු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval