sergeant-arrested-for-allegedly-extorting-money-to-issue-drivers-license-without-filing-a-case

 රථවාහන වරදකට නීතිමය පියවර නොගෙන රියදුරු බලපත්‍රය නැවත ලබාදීම සඳහා රියදුරෙකුගෙන් රුපියල් 15,000ක අල්ලසක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



ජාඇළ පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ මෙම සැරයන්වරයාව, එම කොමිසම විසින් පසුගිය 23 වන සෙනසුරාදා සවස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇළ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේදීම වීම විශේෂත්වයකි.

ජාඇළ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අනතුරු ඇඟවීමේ සංඥා නොතකා වාහනය ධාවනය කළ රියදුරෙකු මෙම සැරයන්වරයාගේ ග්‍රහණයට නතු වී ඇති අතර,

ඔහුගේ රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන තිබේ. පසුව, එම වරදට අධිකරණයේ නඩු පැවරීමෙන් වැළකී සිටීම සඳහා සැකකාර සැරයන්වරයා විසින් රුපියල් පහළොස් දහසක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවට අදාළ රියදුරා විසින් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ කොමිසමේ නිලධාරීන්, සැකකාර සැරයන්වරයා අදාළ මුදල ලබාගන්නා අවස්ථාවේදීම ඔහුව කොටුකර ගැනීමට සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් සැරයන්වරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.