හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද, ලන්ඩනයේ 'වොල්වර්හැම්ප්ටන්' (Wolverhampton) විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට අදාළ ආරාධනා පත්‍රයේ සත්‍යතාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
රාජ්‍ය මුදල් අවභාවිත කරමින් රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වැය කර එංගලන්තයේ පෞද්ගලික උත්සවයකට සහභාගී වූ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, අදාළ සංචාරයට හේතු වූ බව පවසමින් මෙම ආරාධනා පත්‍රය ඉදිරිපත් කර තිබිණි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර මාස තුනක කාලයක් ගතවන තුරුම මෙම ලිපිය ඉදිරිපත් නොකිරීම නිසා එහි සත්‍යතාව පිළිබඳව සැකයක් මතු වන බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත. එමෙන්ම, ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය මගින් ලබාදුන් ලිපියක මෙම සංචාරය "පෞද්ගලික" එකක් ලෙස හඳුන්වා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම කරුණු සැලකිල්ලට ගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය, අදාළ ආරාධනා පත්‍රය පසුකාලීනව සකස් කරන ලද්දක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval