කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පූර්ණ සුවය ලබා නොමැති බැවින්, ඔහුට දින තුනකට අධික කාලයක් විවේක ගැනීමට අවශ්‍ය වනු ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ (24) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ ශරීරයේ හටගත් විජලන තත්ත්වය හේතුවෙන් යම් යම් සංකූලතා මතුවී ඇති බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. හෘද ස්පන්දනය ඉහළ යාම, වකුගඩුවල සෝඩියම් මට්ටම පහළ යාම සහ රුධිරයේ සිදුවූ වෙනස්කම් ඒ අතර වන බව ඔහු සඳහන් කළේය.
මෙම විජලන තත්ත්වයට නිසි ප්‍රතිකාර නොකළහොත් එය හෘදයාබාධයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින්, විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් කිහිපයකගේ නිරන්තර අධීක්ෂණය යටතේ දැඩි සත්කාර ඒකකයේ රඳවා ප්‍රතිකාර කරන බවද වෛද්‍ය බෙල්ලන මහතා පැවසීය. නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ රැකවරණය යටතේ දින දෙක තුනක් ඇතුළත ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.
මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අද (25) උදෑසන සිදුකරන වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව, ඔහුව දැඩි සත්කාර ඒකකයෙන් වෙනත් වාට්ටුවකට මාරු කරන්නේද යන්න පිළිබඳව තීරණය කළ හැකිවනු ඇතැයි ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රදීප් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ඔහුගේ තත්ත්වය පරීක්ෂා කරමින් සිටින බවත්, ඔවුන්ගේ නිර්දේශ මත ඉදිරි පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval