ශ්‍රී ලංකාවේ හිටපු නෝර්වීජියානු සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා, රඳවා තබාගෙන සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් ඔහුව වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියි.
X (කලින් ට්විටර්) සමාජ ජාලය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සෝල්හයිම් මහතා පෙන්වා දෙන්නේ, වික්‍රමසිංහ මහතා නිදහස් කරන ලෙස ඉල්ලන ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ලොව පුරා නායකයින් සමග තමන්ද එක්වන බවයි. 2022 වසරේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටි අවස්ථාවේ රට බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ නායකයා ලෙස ඔහු වික්‍රමසිංහ මහතාව හඳුන්වා දී තිබේ.
හිටපු ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා "කිසිදු පදනමක් නොමැති" බව පවසන හිටපු සාම නියෝජිතයා, එම චෝදනා සත්‍ය යැයි ඔප්පු වුවද, යුරෝපීය ප්‍රමිතීන්ට අනුව ඒවා අපරාධමය හෝ පිළිගත නොහැකි ක්‍රියාවක් ලෙස නොසැලකෙන බවද අවධාරණය කරයි.
ශ්‍රී ලංකා රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට තමාගේ පූර්ණ සහයෝගය හිමිවන බව සඳහන් කරන එරික් සෝල්හයිම් මහතා, එහෙත් බලධාරීන් වික්‍රමසිංහ මහතාට එරෙහිව චෝදනා පසුපස හඹා යෑම වෙනුවට "සැබෑ ගැටළු" කෙරෙහි අවධානය යොමු කළ යුතු බවටද කියා සිටී.
හිටපු නෝර්වීජියානු අමාත්‍යවරයෙකු වන සෝල්හයිම් මහතා, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළ ඔහුගේ ජාත්‍යන්තර දේශගුණික උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළේය. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රී ලාංකික මෙන්ම දකුණු ආසියානු දේශපාලනඥයින් රැසක්ද සිය කනස්සල්ල පළ කර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval