ranil-who-took-over-the-country-that-had-become-a-kandy-set-it-on-fire-ethelawatunuwewe-thero

 ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී තිබූ අවස්ථාවක රට භාරගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිය බුද්ධි මහිමය උපයෝගී කරගනිමින් එම ව්‍යසනකාරී තත්ත්වය පාලනය කර ජනතාවට සහනය ලබා දුන් බව අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක හිමියෝ ප්‍රකාශ කළහ.



හිටපු ජනාධිපතිවරයාට සෙත් ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේදී ඊයේ (25) අළුයම සංවිධානය කර තිබූ පුණ්‍යකර්මයකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ. මෙම අවස්ථාව සඳහා අනුරාධපුර ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගී වූ අතර, රුවන්වැලි සෑයේ සුගන්ධ කුටියෙහි විශේෂ පූජාවක් ද පවත්වනු ලැබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා යනු ශාසනයට මෙන්ම දේශයටද ගෞරවනීය සේවයක් ඉටු කළ, අනාගත පරපුර වෙනුවෙන් කැපවූ දාර්ශනිකයෙකු සහ ඉතිහාසඥයෙකු බවද නායක හිමියෝ එහිදී සඳහන් කළහ. උන්වහන්සේ පෙන්වා දුන්නේ, වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික දේපළ පවා ශාසනය හා දරු පරපුරේ අනාගතය උදෙසා පවරා දී ඇති බවයි.



මුළු රටම දැඩි පීඩනයකින් කඳුළු සලමින් සිටි මොහොතක, අභියෝගය භාරගෙන ජනතාවගේ දුක් ගිනි නිවා දැමීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව පැවසූ ඥානතිලක නාහිමියෝ, එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන බවද පැවසූහ. හිටපු ජනාධිපතිවරයාගේ සුවතාවය පතා ශ්‍රී මහා බෝධිය සහ දිවයිනේ අනෙකුත් ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඉදිරියටත් මෙවැනි පුණ්‍යකර්ම සිදුකරන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.



gossiplanka image 2