an-innocent-man-was-shot-dead-in-boralesgamuwa-a-mistake-by-the-underworld

 බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී ඉරිදා (24) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබීමේ සිද්ධිය, පාතාල සාමාජිකයෙකුගේ ඥාතියෙකු ඉලක්ක කරගත් වරදීමක් විය හැකි බවට පොලීසිය ප්‍රධාන විමර්ශන දිශාව යොමුකර ඇත. මෙම ප්‍රහාරය පාතාල නායකයෙකුගේ බෑණනුවන් ලෙස වරදවා වටහා ගැනීමකින් සිදුකරන්නට ඇති බවට උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.



මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්කිස්ස, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි ගල්පොත්තගේ ෂෙහාන් දුලාන් පෙරේරා නමැති තරුණයෙකි. ත්‍රිරෝද රථ රියදුරෙකු වූ ඔහු කිසිදු අපරාධයකට සම්බන්ධ නොමැති අයෙකු බව මූලික පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි තවත් ත්‍රිරෝද රථ රියදුරෙකු වන අතර, ඔහුගේ අතක ඇඟිලි දෙකකට හානි සිදුවී ඇති බවත්,

ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.

විමර්ශනවලට අනුව, මියගිය තරුණයා සහ තුවාලකරු ඇතුළු දස දෙනෙකුගෙන් යුත් මිතුරු කණ්ඩායමක් සිද්ධියට පෙර දින රාත්‍රියේ බොරලැස්ගමුවේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගොස් ඇත. ඩුබායිහි සැඟවී සිටින 'කොස් මල්ලි' නැමැති පාතාල නායකයාගේ සහෝදරියගේ පුත්‍රයා ද මෙම මිතුරු කණ්ඩායමට ඇතුළත්ව සිට ඇති අතර, සංගීත ප්‍රසංගය අතරතුර කිසියම් පුද්ගලයෙකු ඔහුගේ ඡායාරූපයක් රහසිගතව ලබාගන්නා අයුරු ඔහු දැක තිබේ. අනතුරුව, තමා එම ස්ථානයේ රැඳී සිටීම අවදානම් බව මිතුරන්ට පවසා ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

සංගීත ප්‍රසංගයෙන් අනතුරුව නිවෙස් බලා පා ගමනින් යමින් සිටි මෙම කණ්ඩායම වෙත අලුයම එකට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු පිටුපස අසුනේ සිට රිවෝල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් හෙළිවී තිබේ. මෙම ප්‍රහාරය 'කොස් මල්ලි' සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත වෛරයෙන් පසුවන,

ඩුබායිහි සිටින 'බඩෝවිට අසංක' නැමැති පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනෙකු විසින් සිදු කරන්නට ඇති බවට සැක කෙරේ.

'කොස් මල්ලි'ගේ බෑණනුවන්ගේ ඡායාරූපය වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ 'බඩෝවිට අසංක' වෙත යවා, ඔහුව ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දෙන්නට ඇති බවටත්, එම ඉලක්කය වැරදීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවන්නට ඇති බවටත් පොලීසිය සැක පහළ කරයි. අපරාධය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය බොරලැස්ගමුව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇති අතර, සීසීටීවී දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.