doctors-strike-ends-with-health-ministers-written-promise

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (25) දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (24) රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග පැවති සාර්ථක සාකච්ඡාවකින් අනතුරුවය.



වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් ඇතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරු 8.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව පැවතුණි.



කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවේදී සිය ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර ලැබී ඇත. එහිදී අදාළ ගැටලු විසඳීමට බලධාරීන් එකඟතාව පළ කරමින් ලිඛිත පොරොන්දුවක් ලබා දීම හේතුවෙන් වර්ජනය අත්හිටවූ බව එම සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ අමාත්‍යවරයා ලබාදුන් ලිඛිත එකඟතාව මත මෙම තීරණයට එළැඹි බවයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතාද මෙම කරුණ තහවුරු කළේය.