අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුට මේ වනවිට තවත් රෝග ලක්ෂණ කිහිපයක්ම මතුව තිබීම නිසා වෛද්‍යවරුන් සෝදිසියෙන් පසුවේ.
බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව හදිසියේ රෝගාතුර වූ ඒ මහතා, වෛද්‍ය නිර්දේශ මත පළමුව ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කරනු ලැබීය.
පසුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා හිටපු ජනාධිපතිවරයා දැඩි සත්කාර ඒකකය වෙත මාරු කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත. රෝහල් ආරංචි මාර්ගවලට අනුව, ඒ මහතාට ඇති වූ දැඩි විජලන තත්ත්වයක් හේතුවෙන් යම් සංකූලතා මතු වී තිබේ.
මෙම විජලන තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපතිවරයාගේ හෘදය සහ වකුගඩු ආශ්‍රිතව යම් වෙනස්කම් නිරීක්ෂණය කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. කෙසේ වෙතත්, දින දෙකක් හෝ තුනක් ඇතුළත මෙම තත්ත්වය යථා අතට හැරෙනු ඇතැයි වෛද්‍යවරුන් අපේක්ෂා කරන බවද එම ආරංචි මාර්ග පවසයි.
විජලනය හා සම්බන්ධ තදබල හිසරුදාවකින් ද හිටපු ජනාධිපතිවරයා පෙළෙන බව වාර්තා වේ. මේ අතර, ඒ මහතාට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් පවතීද යන්න තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකර ඇති බවද දැනගන්නට ඇත.
විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටී. ඔහුගේ තත්ත්වය පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් බොහෝ දුරට හෙට (25) දිනයේදී සිදු කළ හැකි වනු ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
සම්පූර්ණ සුවය ලබා නොතිබුණද, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට මනා සිහි කල්පනාවෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
හිටපු ජනපතිවරයා 26 වනදා උසාවි වාරයට පෙනී සිටීම මේ අනුව අවිනිශ්චිතව තිබේ.
සාමාන්‍ය රෝහල්ගතවීම් හෝ උසාවි ගාණේ රස්තියාදුවීම් පිළිබඳ ඉතිහාසයක් නැති ප්‍රභූ පන්නයේ ජීවිතයක් ගතකළ හිටපු ජනපතිවරයාගේ මෘදු ජීවන රටාව වෙනස්වීම මෙම රෝග තත්වයන්ට හේතුවී ඇතැයි වෛද්‍යවරු විශ්වාස කරති.
Comments
Post a Comment
Your comment will be visible after approval