gmoa-to-strike-tomorrow-for-the-sake-of-the-country

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (25) උදෑසන 8.00 සිට දිවයින පුරා සියලුම රජයේ රෝහල් ආවරණය වන පරිදි වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.
මෙම වර්ජනය වෙනදා සිදුකරන පරිදි වැටුප් හෝ වෛද්‍යවරුන්ගේ පුද්ගලික වාසි අරමුණු කරගෙන නැති අතර පොදු යහපත පිණිස සෞඛ්‍ය බලධාරීන් උනන්දු කිරීමට මෙය ක්‍රියාත්මක කිරීම විශේෂිතය.



ග්‍රාමීය රෝහල් වසා දැමීමේ අවදානම, පවතින ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන්ට පිටතින් ඖෂධ මිලදී ගැනීමට රජය විසින් බලපෑම් කිරීම සහ ගුණාත්මක ඖෂධ හා අත්‍යවශ්‍ය උපකරණ නොමැති වීම නිසා නිදහස් සෞඛ්‍ය පද්ධතියට එල්ල වී ඇති තර්ජනයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි. 




සෞඛ්‍ය අමාත්‍යාංශයේ අක්‍රමවත් හා අකාර්යක්ෂම ක්‍රියාකලාපය හේතුවෙන් වෛද්‍යවරුන් දුෂ්කර ප්‍රදේශවලට මාරු කිරීමේ ක්‍රමවේදය "සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී" ඇති බවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මෙම තත්ත්වය මත රෝහල් 200කට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ අවදානමක් පවතින බවත්, කාර්ය මණ්ඩල හිඟය නිසා අනෙකුත් රෝහල්වල ඒකක රැසක සේවාවන් ද අඩාල විය හැකි බවත් එම සංගමය දැඩිව අනතුරු අඟවයි. 

 රටේ මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සෙසු වෛද්‍යවරුන් 2,500 කට අධික පිරිසක් රට හැර යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පෙන්වා දෙන්නේ වෛද්‍ය වෘත්තිකයන් මෙලෙස රට හැර යාමේ ප්‍රවණතාවයේ සැලකිය යුතු අඩුවක් තවමත් දක්නට නොමැති බවත්,

ඒ හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී සහ මහජනතාවට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් සැලසීමේදී විශාල අභියෝග මතු වී ඇති බවත්ය.

වෛද්‍යවරුන්ට ආර්ථික සාධාරණත්වයක්, යුක්තියක් සහ සේවය සඳහා හිතකර වෘත්තීය පරිසරයක් සහතික කරමින් ඔවුන් රට තුළම රඳවා ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා තම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් කර ඇතත්, වෛද්‍යවරුන් සුරක්ෂිත කිරීම සඳහා ස්ථිරසාර යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීමට අමාත්‍යාංශය මෙතෙක් පියවර ගෙන නොමැති බව වෛද්‍ය සුගතදාස මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම ප්‍රතිපත්ති හේතුවෙන් වෛද්‍යවරුන් රට හැර යාම තවදුරටත් වේගවත් වී ඇති බවද ඔහු චෝදනා කරයි.

රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ වෛද්‍යවරුන් ආරක්ෂා කිරීම ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවයක් ලෙස ප්‍රකාශ කළ ද,

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය හේතුවෙන් සිදුවන්නේ ඔවුන් රට තුළ රඳවා තබා ගැනීම වෙනුවට රටින් පිටමං කිරීමට මග පෑදීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටිමින් අඛණ්ඩව සේවයේ නියුතු වෛද්‍යවරුන් වෙනුවෙන් සුරක්ෂිත වෘත්තීය වටපිටාවක් නිර්මාණය කිරීම මෙන්ම ඔවුන්ගේ සේවයට අදාළ රාජකාරි කටයුතු සඳහා නීතිමය රැකවරණය තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.