postal-worker-who-posed-as-director-somay-and-delivered-nude-photos-of-women

 ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන සෝමරත්න දිසානායක ලෙස අන්වර්ථ නාමයකින් පෙනී සිටිමින්, සිනමා නිර්මාණවල රංගන අවස්ථා ලබා දෙන බවට පොරොන්දු දී කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ලබා ගත් බව කියන තරුණයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සැකකරු එළඹෙන අගෝස්තු මස 21 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය බ්‍රහස්පතින්දා (07) නියම කළාය.

මෙලෙස අධිකරණ නියෝගයට ලක්වූයේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තැපැල් සේවකයෙකි.

සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. සිය අනන්‍යතාව සහ ඡායාරූප භාවිත කරමින් කිසියම් අයෙකු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන බවත්, එමගින් කාන්තාවන් අපහසුතාවයට පත් කරන බවත් ඒ මහතා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

අධිකරණයේදී කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ, අත්අඩංගුවට ගත් සැකකරු විසින් දිවයිනේ විවිධ පළාත්වල වෙසෙන වයස අවුරුදු 20ත් 35ත් අතර වයස් කාණ්ඩවල පසුවන තරුණියන් සහ කාන්තාවන් ඉලක්ක කරගෙන මෙම ජාවාරම සිදුකර ඇති බවය.

සෝමරත්න දිසානායක ලෙස පෙනී සිටිමින්, තමන් අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපට සඳහා නිළියන් තෝරාගන්නා බව පවසා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලා ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොල්ගහවෙලදී අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු සහ විමර්ශනවල ප්‍රගතිය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කළාය.