
මැති ඇමැතිවරුන් හත්දෙනකු සහ දේශපාලනඥයන්ගේ ඥාතින් 149 දෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි, අගමැතිනි, ආචාරිය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවැසුවාය. එසේම, අල්ලස් හා දූෂණ චෝදනා මත රාජ්‍ය නිලධාරින් 100 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඇය ප්‍රකාශ කළාය.
අගමැතිවරිය මෙසේ පැවැසුවේ, ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නන්දන පද්ම කුමාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මිනිසුන් කෙඳිරි ගෑම නැවැත්විය නොහැකි බවත්, කෙඳිරි ගෑවත් නැතත් නීතිය ක්‍රියාත්මක වන බවත්, ඇය කීවාය. රජයට පළිගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද අගමැතිවරිය පැවැසුවාය.
ජනතාව ජනවරම දුන්නේ හොරු ඇල්ලීමට බවත්,
රජය එය ක්‍රියාත්මක කරමින් සිටින බවත් හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. වැරැදි නොකර හිටියා නම් කෙඳිරි ගෑමට අවශ්‍ය නැතැයි ද ඇය කීවාය. අල්ලස් කොමිසමට රජය කිසිදු බලපෑමක් ඇති නොකරන බවත්, ඔවුන්ට නිදහසේ කටයුතු කරගෙන යෑමට අවශ්‍ය වාතාවරණය සකස් කර දී ඇති බවත්, අගමැතිවරිය සඳහන් කළාය. අගමැතිවරිය මෙසේ ද පැවැසුවාය.
“අල්ලස් චෝදනා මත 2024 වර්ෂයේදී 86 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025 ජුනි 30 වැනිදාට 34 දෙනකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. දූෂණ චෝදනා මත 29 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දේශපාලනඥයන්, හිටපු දේශපාලනඥයන් දූෂණ චෝදනා මත 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය නිලධාරින්, හිටපු රාජ්‍ය නිලධාරින් 2024 වර්ෂයේදී අල්ලස් චෝදනා මත 58 දෙනකු අල්ලා තිබෙන්වා. 2025 ජුනි 30 වන විට අල්ලස් චෝදනා මත 28යි. දූෂණ චෝදනා මත 14යි. එකතුව 42යි.
2024 වර්ෂයේදී සිවිල් පුද්ගලයන් 28 දෙනකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025 ජුනි 30 වැනිදාට අල්ලස් චෝදනා මත හයයි, දූෂණ චෝදනා මත තුනයි. එකතුව නවයයි. දේශපාලනඥයන්ගේ ඥාතින් 2025 ජුනි 30 වැනිදාට අදාළව දූෂණ චෝදනා මත පහයි. 2024 වර්ෂයේදී අල්ලස් චෝදනා මත අසූහයයි. 2025 වර්ෂයේදී අල්ලස් චෝදනා මත 34යි. දූෂණ චෝදනා මත 29යි. සම්පූර්ණ එකතුව 63යි.”
Comments
Post a Comment
Your comment will be visible after approval