new-york-city-deploys-70-inspectors-to-combat-rats

 ඇමරිකාවේ සුප්‍රකට නිව්යෝර්ක් නගරය මේ දිනවල දරුණු මීයන් උවදුරකින් පීඩා විඳිමින් සිටින අතර, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දේශීය පරිපාලනය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. නගරයේ වීදි, උමං මාර්ග, පදික වේදිකා සහ මංමාවත් දෙපස

මීයන්ගෙන් පිරී පැවතීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර, දරුවන් පදික වේදිකාවේ ගමන් කරවීමට පවා දෙමාපියන් බියක් දක්වන තත්ත්වයක් උද්ගතව ඇත.

මෙම අභියෝගයට මුහුණ දීම සඳහා බලධාරීන් සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබ්බට යමින් නවීන තාක්ෂණය භාවිතයට ගෙන තිබේ.

මීයන්ගේ ගහනය පාලනය කිරීමේ අරමුණින්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිතියම්ගත කරන අධි තාක්ෂණික මෙවලම් භාවිතයට ගැනෙන අතරම, ආහාර අපද්‍රව්‍ය පාරට විසි නොකරන ලෙස ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වන්නේ මීයන්ට ආහාර සොයාගැනීම දුෂ්කර කරවීමයි.

නගර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරිනී කැරොලින් බ්‍රැග්ඩන් පවසන පරිදි, ආහාර හිඟවීම මීයන් ඇතුළු අනෙකුත් කෘමීන් දැඩි 'ආතතියකට' ලක් කිරීමට හේතු වේ. එමගින් ඔවුන් ආහාර සොයා දුර ගමන් කිරීමට පෙළඹෙන අතර, ඔවුන්ගේ ප්‍රජනන වේගය ද අඩුවන බව ඇය පෙන්වා දෙයි. මීයෙකුට දිනකට ආහාර ග්‍රෑම් 28ක් අවශ්‍ය වන අතර, එක් වරකට පැටවුන් 12 දෙනෙකු දක්වා බිහි කිරීමට හැකියාව පවතී. වසරකට අඩු තම ජීවිත කාලය තුළ මී දෙනෙකුට පස් වතාවක් හෝ හත් වතාවක් අතර ප්‍රමාණයක් පැටවුන් බිහි කළ හැකිය.



මෙම 'විශේෂ මෙහෙයුම' සඳහා පරීක්ෂකයින් 70 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ඇති අතර, ඔවුන් ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) භාවිතයෙන් මීයන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින්, වාර්තා කරමින් සහ පාලන උපායමාර්ග සකස් කරමින් සිටියි. එමෙන්ම, ගොඩනැගිලි, වෙළඳසැල් සහ පදික වේදිකා පිරිසිදුව තබාගන්නා ලෙස ව්‍යාපාරිකයන්ට සහ නිවැසියන්ට උපදෙස් දෙමින් ඔවුන් ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම් සිදු කරයි. මීයන් පාලනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව පුහුණු සැසි ද පවත්වන අතර, නගරයේ දහස් සංඛ්‍යාත ජනතාවක් සහ ගොඩනැගිලි කළමනාකරුවන් එම පුහුණුව ලබා ඇත.

2022 ඔක්තෝබර් මාසයේදී, නිව්යෝර්ක් නගරය 'කසළ විප්ලවයක්' ආරම්භ කළ අතර, එහි අරමුණ වූයේ පදික වේදිකාවල තබන කලු පැහැති කසළ බෑග් වෙනුවට,

මුද්‍රා තැබූ කසළ බඳුන් භාවිතය අනිවාර්ය කරමින් මීයන්ගේ ආහාර ප්‍රභවයන් නැති කිරීමයි. මෙම වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙස, 2024 වසරේදී මීයන් සම්බන්ධ පැමිණිලි පසුගිය වසරට සාපේක්ෂව 25% කින් අඩු වී ඇති බව නිල දත්ත වාර්තා පෙන්වා දෙයි. "කලකට පෙර, කසළ දැමීමට යන විට මීයන් පස් දෙනෙකුවත් එළියට පනිනවා. මට මගේ පුතාව බිම තියන්නත් බය හිතුණා," යැයි ප්‍රදේශවාසී ජෙසිකා සැන්චේස් පැවසුවාය. එහෙත් දැන් තත්ත්වය බෙහෙවින් යහපත් වී ඇති බව ඇය සඳහන් කළාය.