නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය යටතේ බංග්ලාදේශයේ මීළඟ මහ මැතිවරණය 2026 වසරේ පෙබරවාරි මාසයේ පළමු සතියේදී පැවැත්වීමට නියමිත බව එරට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
මෙම නිවේදනයත් සමගම, හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ රජය ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය විරෝධතා මාලාවකින් පසු බලයෙන් පහකිරීමෙන් අනතුරුව රටේ ඇතිවූ දේශපාලන අවිනිශ්චිතතාවයට තිත තැබීමේ බලාපොරොත්තු පළවී තිබේ.ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඒ.එම්.එම්. නසීර් උද්දීන් මහතා සඳහන් කළේ, මැතිවරණය සඳහා නිශ්චිත දිනයක්, ඡන්ද විමසීමට මාස දෙකකට පෙර ප්‍රකාශයට පත් කරන බවයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සිය කාර්යාලය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය බව ඔහු අවධාරණය කළේය. පසුගිය කාලය පුරා මැතිවරණ ක්‍රමය, මැතිවරණ කොමිසම සහ මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ පරිපාලන යාන්ත්‍රණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බවද කොමසාරිස්වරයා පිළිගත්තේය. එම පළුදු වූ විශ්වාසය යළි ගොඩනැගීම සඳහා තම කාර්යාලය නොපසුබටව කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම මැතිවරණ ප්‍රකාශය, අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මොහොමඩ් යූනුස් විසින් ලබන වසරේ පෙබරවාරි මාසයේදී මැතිවරණය පවත්වන බවට සිදුකළ නිවේදනයකින් දින හතරකට පසුව සිදු විය. 2024 අගෝස්තු මස 5 වන දින අවාමි ලීග් රජය බලයෙන් පහකිරීමෙන් පසුව, යූනුස් මහතා අගෝස්තු 8 වන දින අන්තර්වාර රජයේ නායකත්වය භාර ගත්තේය. විවිධ අභියෝග මධ්‍යයේ වුවද, කෙටි කාල රාමුවක් තුළ මැතිවරණය පැවැත්වීමට සිය කාර්යාලය සූදානම් වෙමින් සිටින බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
මේ අතර, හිටපු අගමැතිනී ඛලීඩා සියාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ ඔවුන්ගේ මතවාදී හිතවතුන් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණයට තරඟ කරන බව
එම පක්ෂයේ වැඩබලන සභාපති සහ ඛලීඩා සියාගේ පුත් තරික් රහමන් තහවුරු කර ඇත. 2001 සිට 2006 දක්වා පාලනය ගෙන ගිය සිව්-පාර්ශ්වික සන්ධාන රජයේ ප්‍රධාන හවුල්කරුවෙකු වූයේ ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයයි. ‘වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ’ (Students Against Discrimination) සංවිධානය විසින් දියත් කරන ලද ප්‍රචණ්ඩ විරෝධතා මාලාවකින් පසුව 2024 අගෝස්තු 5 වන දින අවාමි ලීග් රජය බලයෙන් පහ කරන ලදී. හිටපු අගමැතිනි හසීනා රටින් පලා ගොස් දින තුනකට පසු යූනුස් මහතා අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ධුරයට පත් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval