අනුරාධපුර ඓතිහාසික ලෝවාමහාපාය, විධිමත් පුරාවිද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව නැවත ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇති බව භෞතික සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුචිර විතාන මහතා ප්‍රකාශ කළේය. මෙතෙක් එම පරිශ්‍රයේ සිදුකර ඇත්තේ විධිමත්භාවයෙන් තොර ප්‍රතිසංස්කරණ කටයුතු බවද ඔහු සඳහන් කළේය.
මෙම තීරණය පිළිබඳව අනාවරණය කෙරුණේ, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් (වැඩබලන) සන්ධ්‍යා එන්.ජී. අබේසේකර මහත්මියගේ මූලිකත්වයෙන් පැවති අනුරාධපුර පූජා නගර සංවර්ධන සමාලෝචන කමිටු රැස්වීමේදීය.
පූජා නගරයේ අනවසර ඉදිකිරීම් සහ අනෙකුත් ගැටලු නිරාකරණය කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි.
ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ මේ වන විට ලෝවාමහාපාය පරිශ්‍රයේ මූලික කැණීම් කටයුතු ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කමිටු රැස්වීමේදී වැඩිදුරටත් සඳහන් කළේය.
අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ආර්.ජී. ජයතිලක මහතාට අනුව, දුටුගැමුණු රජු සමයේ ඉදිකරන ලදැයි සැලකෙන මුල් ලෝවාමහාපාය, මහල් නවයකින් සහ කුටි දහසකින් සමන්විත වූ මහා ප්‍රාසාදයක් විය.
භික්ෂූන් වහන්සේලාට පමණක් සීමා වූ මෙය, විනය කර්ම සිදුකරන ප්‍රධාන පොහොය ගෙය ලෙස භාවිත වූ බවද ඒ මහතා පෙන්වා දෙයි. එහි ඉහළ මහල් දැවයෙන් නිමවා තිබූ බවටත්, පසුකාලීනව මහල් හතකින් සමන්විතව පැවති බවටත් ඓතිහාසික මූලාශ්‍රවල තොරතුරු සඳහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval