
විශේෂඥ වෛද්‍යවරයකු විසින් සන්ධි රෝගයක් සඳහා නියම කළ ඖෂධයක් වෙනුවට, ඖෂධහලකින් (ෆාමසියකින්) නිකුත් කළ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානය කිරීම හේතුවෙන් උඩවලව, කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි සිවුදරු මවක් බරපතළ ලෙස රෝගාතුර වී එක්තැන්වී ඇත.
කේ.ජී. ප්‍රියාණි චන්ද්‍රමාලි නැමැති මෙම කාන්තාව, ඇතිවූ උග්‍ර රෝගී තත්ත්වය හේතුවෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දින දහයක නේවාසික ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රෝහලක් වෙත රැගෙන යාමට නියමිත බව ඇයගේ සැමියා පවසයි.ඇයගේ සැමියා වන අනුර සුමනසිරි පෙරේරා මහතා පවසන පරිදි,
සන්ධි රෝගී තත්ත්වයක් සඳහා ඇඹිලිපිටියේ පෞද්ගලික රෝහලකදී විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ලබාගත් ඖෂධ වට්ටෝරුව, ඔවුන් නිරන්තරයෙන් ඖෂධ ලබාගන්නා උඩවලව නගරයේ ඖෂධහලකට ඉදිරිපත් කර තිබේ. ෆාමසියෙන් ලබාදුන් ඖෂධ පානය කිරීමෙන් පසු ඇයට බඩ සහ පපුවේ දැවිල්ල, මුඛයේ තුවාල, ඇස් නොපෙනී යාම සහ ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ රැසක් මතුවී ඇත.
ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝගය නිශ්චය කර ගැනීමට අපහසු වූ වෛද්‍යවරුන්,
ලබාගත් ඖෂධ පරීක්ෂා කිරීමේදී මෙම දරුණු වරද හෙළිදරව් කරගෙන තිබේ. වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ, සතියකට මිලිග්‍රෑම් 3ක මාත්‍රාවකින් පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක්, දිනකට මිලිග්‍රෑම් 40ක් (මිලිග්‍රෑම් 10 පෙති හතරක්) බැගින් ලබාගන්නා ලෙස ඖෂධහලෙන් වැරදි උපදෙසක් ලබා දී ඇති බවයි. එම උපදෙස් අනුව, අධි මාත්‍රාව සහිත පෙති 42ක් පානය කිරීමෙන් ඇය මෙම බරපතළ තත්ත්වයට පත්වී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් උඩවලව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඖෂධහල විසින් සිය වරද පිළිගත් නමුත්, පවුලේ අයට වෙනත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද සැමියා චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ බලධාරියෙකුගෙන් කළ විමසීමකදී, සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත්,
පැමිණිල්ලක් නොලැබුණ ද ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර නීතිමය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය. ඖෂධවේදීන්ගේ හිඟයක් පැවතිය ද, නුසුදුසු පුද්ගලයන් සේවයේ යෙදවීමට ඉඩ නොදෙන ලෙසත්, ඖෂධ නිකුත් කිරීමේදී එහි නිරවද්‍යතාව කිහිපවරක් පරීක්ෂා කරන ලෙසත් සියලු ඖෂධහල් දැනුවත් කර ඇති බවද එම බලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval