630-million-rupees-loss-to-foreign-service-bureau-due-to-sending-maids-without-training-cope-committee-reveals

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගත වන ශ්‍රමිකයන්ට අනිවාර්ය නේවාසික පුහුණුව ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට රුපියල් 631,177,650 ක දැවැන්ත පුහුණු ආදායමක් අහිමි වී ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වී තිබේ. පුහුණුවකින් තොරව මෙලෙස ගෘහ සේවිකාවන් 28,165 දෙනෙකු විදේශගත කර ඇති බව හෙළිදරව් වී ඇත.





ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022 සහ 2023 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡාවට ලක්විය. එමෙන්ම, 2023 මැයි මස සිට 2024 ජූනි දක්වා කාලය තුළ බාලවයස්කාර දරුවන් 83 දෙනෙකු ගෘහ සේවය සඳහා විදේශගත කර ඇති බවට වූ බරපතළ කරුණක් ද මෙහිදී අනාවරණය විය.

තවද, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය නියාමන කාර්යභාරයෙන් බැහැරව ව්‍යාපාරික ස්වරූපයෙන් කටයුතු කර ඇති බවට ද කමිටුවේදී චෝදනා එල්ල විය. පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කළ "ජයගමු ශ්‍රී ලංකා" වැඩසටහන සඳහා රුපියල් බිලියන 12ක වියදමක් දරා ඇති බවට අනාවරණය වූ කරුණු පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගත් කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා විශේෂ කෝප් අනුකමිටුවක් පත් කරන ලෙසට නිර්දේශ කළේය.