medical-director-who-demanded-a-bribe-of-15-million-to-keep-a-prisoner-in-hospital-remanded

 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරකරුවෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේම අඛණ්ඩව රඳවා තබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ඉල්ලා, ඉන් රුපියල් ලක්ෂ 3ක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා

අගෝස්තු 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ඊයේ (13) මෙම නියෝගය නිකුත් කරන ලදී. සැකකාර වෛද්‍යවරයා, චෝදනාවට අදාළ සිදුවීම වන අවස්ථාවේ බන්ධනාගාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු දක්වමින්, ‘ආමි අසංක‘ නැමැති රැඳවියාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පැවසීය. බූස්ස බන්ධනාගාරයේ සිටි මෙම රැඳවියා, රෝගී තත්ත්වයක් මත වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ප්‍රතිකාර අවසන් වුවද එහිම රඳවා තබාගැනීම සඳහා සැකකාර වෛද්‍යවරයා විසින් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ඉල්ලා තිබේ. පසුව රැඳවියාගේ හිතවතෙකු මාර්ගයෙන් සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 3ක මුදලක් බැර කර ඇත.



ඉතිරි මුදල ලබා දීම රැඳවියා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැකකාර වෛද්‍යවරයා විසින් ඔහුව නැවත බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට දැන්වීය. පසුගිය වසරේදී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් අනතුරුව, සැකකාර වෛද්‍යවරයා පිටකෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, අදාළ රැඳවියා බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය හා ජංගම දුරකථන භාවිත කළ අයෙකු බවත්, තම සේවාදායකයා ඊට විරුද්ධ වීම නිසා ඇතිවූ අමනාපයක් මත

මෙම අසත්‍ය පැමිණිල්ල සිදුකර ඇති බවයි. තම සේවාදායකයාගේ ගිණුමට මුදල් බැර වී තිබුණ ද එය අල්ලසක් නොවන බවත්, රෝගී බිරිඳක් සහ දරුවන් තිදෙනෙකුගේ වගකීම් ඇති ඔහු ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකාර වෛද්‍යවරයා අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකර ඇති බවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින්, ඔහුව අගෝස්තු 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.