man-arrested-for-stealing-a-bus

 ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සොරකම් කරමින් සිටි සැකකරුවෙකු, එම බස් රථය ද සමඟ අගෝස්තු 25 වන දා රාත්‍රියේ හබරාදුව, මීපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය වාර්තා කරයි. මෙම සොරකම පිටුපස, එකම ව්‍යාපාරයේ නිරත බස් රථ හිමිකරුවන් දෙදෙනෙකු අතර පවතින ආරවුලක් ඇති බවට පොලිසිය සැක පහළ කරයි.





පිලාන ප්‍රදේශයේ පදිංචි බස් රථ හිමිකරුවෙකුට අයත් මෙම බස් රථය, ඔහුගේ නිවසේ නවතා තිබියදී අගුල කඩා සොරකම් කරගෙන ගොස් තිබේ. මෙම සිදුවීමට දින කිහිපයකට පෙර, මෙම ව්‍යාපාරයේම නිරත හබරාදුව ප්‍රදේශයේ තවත් බස් රථ හිමිකරුවෙකු විසින් පහර දීම හේතුවෙන් සොරකමට ලක්වූ බස් රථයේ හිමිකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

සොරකම සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ බස් රථ හිමිකරුගේ වයෝවෘද්ධ මව පමණක් වන අතර,

ඇය විසින් දුරකථනයෙන් තම පුතාව දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කර තිබේ. වහාම ක්‍රියාත්මක වූ අක්මීමන පොලිස් නිලධාරීන් මාර්ග බාධක යොදා කළ සෝදිසියකදී සොරකම් කරන ලද බස් රථය සහ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.